Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිශීලක දත්ත වැරදි ලෙස භාවිත කළ Meta සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!

Facebook, Instagram සහ WhatsApp හි මව් සමාගම වන Meta හට පරිශීලක දත්ත භාවිතය පිළිබඳ ජනතාව නොමග යැවීමේ චෝදනාව මත ඩොලර් බිලියන 25ක දඩයක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබෙනවා.

සති දෙකක් පුරා පැවති නඩු විභාගයකින් පසු විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සන්ධාන කරන්නේ.

2010 සිට 2021 දක්වා වසර 11කට වැඩි කාලයක් Facebook පරිශීලක දත්ත හසුරුවන ආකාරය සහ තෙවන පාර්ශ්ව වෙත එම දත්ත ලබාදීම පිළිබඳ Meta ජනතාව නොමඟ යැවූ බවට ජූරිය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත නීති උල්ලංඝනය කිරීම් මිලියන 40කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ද ජූරිය සොයාගෙන ඇති බව සඳහන්.

මෙම නඩුව ආරම්භ වූයේ මිලියන ගණනක Facebook පරිශීලකයන්ගේ දත්ත දේශපාලන උපදේශන කටයුතු සඳහා යොදාගැනුණු Cambridge Analytica සිද්ධියෙන් පසුවයි.

ද්වේෂ සහගත අන්තර්ගතයට අදාළව Meta ක්‍රියා කළ ආකාරය පිළිබඳ ජනතාව නොමග යැවූ බවට ද ප්‍රාන්තය චෝදනා කර තිබෙනවා.

නීති උල්ලංඝනය කිරීම් සඳහා ගණනය කළ සම්පූර්ණ දඩ මුදල ඩොලර් බිලියන 219ක් වූ නමුත්, විනිසුරුවරයා එය ඩොලර් බිලියන 25 දක්වා අඩු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Meta සමාගම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව එහි ප්‍රධාන නීතිඥ CJ Mahoney පවසා තිබෙනවා.

නිව් මෙක්සිකෝ නීතිපති රාවුල් ටොරෙස් ප්‍රකාශ කර ඇත්තේ, බලවත් තාක්ෂණික සමාගම්වලට නීතියෙන් ඔබ්බට ක්‍රියා කළ නොහැකි බව මෙම තීන්දුවෙන් පැහැදිලි වන බවයි.

Exit mobile version