මෙරට ඉන්ධන සංචිත පවතින බව රජය ප්‍රකාශ කර තිබියදීත් හදිසියේ මිල ඉහළ දැමීමට සිදුවූයේ ඇයිද යන්න පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(10) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය දින කිහිපය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් සංචිත වේගයෙන් ක්ෂය වූ බවත්, අලුතින් ඇණවුම් කළ නැව් ඉහළ මිල ගණන් යටතේ දිවයිනට පැමිණීම නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 37.76%කින් පමණ ඉහළ ගොස් ඇති අතර පිරිපහදු කළ ඉන්ධන මිල ගණන්ද පහත පරිදි විශාල ලෙස වැඩි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
එමෙන්ම ඇණවුම් කරන ඉන්ධන තොගවල මිල තීරණය වන්නේ ඒවා මෙරටට ගොඩබාන දිනට පෙර දින කිහිපයේ පවතින සාමාන්‍ය මිල අනුව බවත් ඒ අනුව අලුතින් පැමිණි නැව් සඳහා ගෙවීමට සිදුවූයේ ඉතා ඉහළ මිලක් බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා.
මාර්තු 01 වනදා සිට 09 වනදා දක්වා වූ කෙටි කාලය තුළ ඉන්ධන පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, සාමාන්‍යයෙන් දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000ක් වුවද, පසුගිය දින 9 තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500ක් පරිභෝජනය කර ඇති බවයි.
ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් පමණ අතිරික්තව පරිභෝජනය වී ඇති බවත්, එමගින් පැවති සංචිත සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වූ බවත් අමාත්‍යවරයා හෙළි කළා.
මිල ඉහළ නොදැමුවේ නම් පෞද්ගලික තෙල් සමාගම් ඉන්ධන ආනයනය සීමා කිරීමට හෝ නතර කිරීමට ඉඩ තිබූ බවත්, එය රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමට සෘජුවම බලපාන බවත් අමාත්‍යවරයා පවසනවා.
“ඇත්ත වශයෙන්ම වැඩි කළ යුතු මිල මීට වඩා වැඩියි. නමුත් ආර්ථිකයට දරාගත නොහැකි බැවින් යම් සීමාවක මිල වැඩි කළා. මේ හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.

