Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලලිත් – කුගන් අතුරුදන්කිරීමට අදාළ නඩුව: නීතිය මඟහරින ගෝඨා Online සාක්ෂි දීමට ඉල්ලීමක්

ලලිත් – කුගන් අතුරුදන්කිරීමට අදාළ නඩුව: නීතිය මඟහරින ගෝඨා Online සාක්ෂි දීමට ඉල්ලීමක්

ලලිත් – කුගන් අතුරුදන්කිරීමට අදාළ නඩුව: නීතිය මඟහරින ගෝඨා Online සාක්ෂි දීමට ඉල්ලීමක්

2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ මානව හිමිකම් සහ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරිරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයන් අතුරුදන් වීමට අදාළ නඩුව මේ වන විට නැවත ඉදරියට පැමිණ තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කිරීමට අවසර ඉල්ලමින් පෙබරවාරි 06 ලිඛිත ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

මෙම ඉල්ලීමට අදාළව නඩුවේ අනෙක් පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා අධිකරණය විසින් මාර්තු මස 06 වන දින නඩුව නැවත කැඳවීමට නියම කර ඇත.

2011 දෙසැම්බර් 10 වන දින, එනම් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී යාපනය ප්‍රදේශයේදී ලලිත් සහ කුගන් අතුරුදන් විය. එම අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින්, ඔහු මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ ජීවිත තර්ජන ඇති බව පවසමින් උසාවිය මගහැර සිටි අතර එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාළ කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවුරුම් ප්‍රකාශක් මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස පසුගිය දෙසැම්බර් 10 දින යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

2019 අප්‍රේල් මාසයේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලිකව පෙනී සිට සාක්ෂි දෙන ලෙස මුලින්ම නියෝග කළද, ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ හිමි වූ ජනාධිපති මුක්තිය පාවිච්චි කරමින් අධිකරණය මඟහැරියේය. පසුව අභියාචනාධිකරණය විසින් ඔහුට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දෙන ලෙස නියෝග කළද, අද දක්වාම ඔහු විවිධ හේතු දක්වමින් එය පැහැර හරිමින් සිටියා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයෙකු වුවද, ඔහු රටේ පොදු නීතියට යටත් විය යුතුය. අධිකරණ නියෝගයක් පැහැර හැරීමට ඔහුට කිසිදු සුවිශේෂී අයිතියක් නොමැත. ලලිත් සහ කුගන් සහෝදරවරුන් අතුරුදන් කර වසර 14කට ආසන්න වුවද, මෙම අපරාධයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම නතර නොකළ යුතු අරගලයකි. ගෝඨාභය රාජපක්ෂ හෝ වේවා, වෙනත් ඕනෑම බලවතෙකු හෝ වේවා, යුක්තියෙන් මිදී යාමට ඉඩ නොතැබිය යුතුය.

Exit mobile version