Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කල්පිටියේ දූපත්වලින් කෝටි හයක බදු පොල්ලක්

කල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක් අයකර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත් වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම සමාගම් විසින් නිසි පරිදි මාසිකව බදු වාරික නොගෙවීම නිසා අවසන් විගණිත දිනයවූ 2022.11.30 දක්වා එම හිග බදු මුදල අයවී නොතිබූ බව සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවක් මගින් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

2010 වර්ෂයේ එවකට ජනාධිපතිවරයා විසින් ලංකා සංචාරක මන්ඩලය වෙත නිදහස් කර තිබූ සින්න ඉරමතිව්,බටහිර ඉරමතිව්,සින්න ආරච්චල් සහ ඉරමතිවු යන දූපත් හතර සහ ඊට පෙර නිදහස් කර තිබූ ඉප්පන්තිව් සහ වෙල්ලයි යන දූපත් ගිවිසුම් මත බදුගෙන තිබූ පුද්ගලික සමාගම් පහකින් සංචාරක සංවර්ධන අධිකාරිය මෙලෙස බදු මුදල් අයකරගෙන නැහැ.

මෙම දූපත් අතරින් වැඩිම බදු මුදල වූ රුපියල් 5,07,96,768 ක මුදලක් ඉප්පන්තිව් දූපත බද්දට ගත් සමාගමෙන් අය විය යුතුව තිබූ බවද විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

නියමිත පරිදි බදු මුදල් නොගෙවන විට බදු ගිවිසුම අවලංගු කළ හැකි වුවත් සංචාරක සංවර්ධන අධිකාරිය එසේ කර නොමැති බවද විගණන වාර්තාවේ සඳහන්.

එමෙන්ම 2010 වසරේ පවරා දී තිබූ සින්න ඉරමතිව්,බටහිර ඉරමතිව්,සින්න ආරච්චල් සහ ඉරමතුව් යන දූපත් හතර ආයෝජන කටයුතු සඳහා යෙදවීමට සංචාරක සංවර්ධන අධිකාරියට වසර 10 කට අධික කාලයක් වැයවී ඇතැයිද විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

Exit mobile version