Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොවම හෙල්ලා සිදුකළ විශාලතම බැංකු වංචාව

ලෝකෙම හෙල්ලූ, ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව

ලෝකෙම හෙල්ලූ, ලොව සිදුකළ විශාලතම බැංකු වංචාව

මෙම නඩු විභාගය සැලකෙන්නේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසටය.

ඒ මෙ ලොව සිදුකළ විශාලතම බැංකු වංචාවක් හා සම්බන්ධ නඩු විභාගයකි.

වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ පවතියි. එබැවින් එහි දැඩි නීති ක්‍රියාත්මක වෙයි. කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද එරට වංචාව දූෂණය සමාජය වෙළාගෙන ඇති පිළිලයක් බව ජනතාව චෝදනා කරති.

එබැවින් මෙම බැංකු වංචාවට සම්බන්ධ සැකකරුවන්ට උපරිම දඬුවම් දීමටත් මෙම නඩුවට සුවිශේෂී මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමටත් බලධාරීන් කටයුතු කරමින් සිටියි. මෙම නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ ධනවත් කාන්තාවකි. 67 හැවිරිදි Truong My Lan දේපොළ සංවර්ධන ව්‍යාපාර හිමි කාන්තාවකි. ඇයට එල්ලවී ඇති චෝදනාව වන්නේ වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමය. වසර 11ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචාකර ඇති බවට ඇයට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි. රජයේ නීතිඥයින් පවසන්නේ ඉන් ඩොලර් බිලියන 27ක් කිසිදිනෙක නැවත අය කරගැනීමට නොහැකිවීමට ඉඩ ඇති බවයි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 2700ක් කැඳවා ඇති අතර රජයේ නීතිඥයින් 10ක් සහ තවත් නීතිඥයින් 200ක් මෙම නඩුවට සම්බන්ධය. සාක්ෂි ලේඛන පෙට්ටි 104ක අසුරා ඇති අතර එහි බර ටොන් හයකි.

Truong My Lan ඇතුළුව සැකකරුවන් 85 දෙනෙක්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඇය සහ තවත් 13 දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවීමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

වියනාම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස Nguyen Phu Trong කටයුතු කරයි. රට තුළ වංචාව දූෂණය නැති කරන බව ඔහු ජනතාවට පොරොන්දුවක් දුනි. එම සටන ආරම්භවීමෙන් අනතුරුව ජනාධිපතිවරු දෙදෙනෙක්ට සහ නියෝජ්‍ය අගමැතිවරු දෙදෙනෙක්ව බලයෙන් පහ කෙරිණි. එසේම නිලධාරීන් 100කට වැඩි පිරිසකට එරෙහිව නීති මගින් කටයුතු කර ඇත. විශාල පිරිසක් සිපිරිගෙට යැවිණි. මේ වනවිට එරට සිටින ධනවත්ම කාන්තාවක්ද දඬුවම අභියසය.

වංචා චෝදනා එල්ලවී ඇති Truong My Lan, මීට වසර ගණනාවකට පෙර සාප්පුවක් දමාගෙන සිය මව සමග සුවඳ විලවුන් විකුණමින් සිටි තැනැත්තියකි. 1986 දී වියට්නාම ආර්ථික පුනර්ජීවනයත් සමග ඇය දේපොළ වෙළෙඳපොළ සඳහා ආයෝජනය කළාය. 1990 වනවිට හෝටල් සහ භෝජනාගාර කිහිපයක අයිතිය හිමිකර ගැනීමට ඇය සමත් වූවාය. 2011 වනවිට බිලියනපතිනියක් වී සිටි ඇයට ඒ වනවිට කඩාවැටෙමින් තිබූ එරට කුඩා බැංකු 3ක් ඒකාබද්ධ කිරීමට අවසරය ලැබුණි. සයිගොන් කොමර්ෂල් බැංකුව ආරම්භ වූයේ ඒ ආකාරයටය.

වියනාම් නීතියට අනුව කිසිවෙකුට එරට කිසිදු බැංකුවක කොටස් වලින් 5%කට වඩා හිමිකර ගැනීම තහනම්ය. නමුත් මෙම කාන්තාව ව්‍යාජ සමාගම්, සහ ඇයගේ සමීපතමයින් ඔස්සේ සයිගොන් කොමර්ෂල් බැංකුවේ කොටස් ලබාගෙන තිබුණාය.
Truong My Lanට ඇත්ත වශයෙන්ම එම බැංකුවේ කොටස් 90%ට වඩා හිමිව තිබූ බව රජයේ නීතිඥයෝ චෝදනා කරති.

එසේම බැංකුවේ කළමනාකරුවන් ලෙස සිය හිතවතුන් පත්කළ ඇය තම ව්‍යාජ සමාගම් හරහා සයිගොන් බැංකුවෙන් විශාල වශයෙන් ණය අරගෙන තිබූ අතර බලධාරීන් පවසන්නේ එය සමස්ත ණය වලින් 93% පමණ වන බවයි.

Exit mobile version