Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ වියදම කෝටි 3000කින් පහලට – අයවැය විසර්ජන පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මතයි

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 41කින් සම්මතයි

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශයට ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණද අඩු කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහාය. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල දැක්වෙන්නේ බිලියන 2.78ක් ලෙසය. මේ අනුව ජනාධිපතිවරයාගේ වියදම් සඳහා ලබන වසරේ වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 6.6කින් අඩු වනු ඇත.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 18 කින් ඉහළ නංවා ඇත. මේ වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 355ක් ලෙස දැක්වෙන අතර ලබන වසරේ එම වියදම දැක්වෙන්නේ බිලියන 373ක් ලෙසය.

ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. බිලියන 286.7ක් එම අමාත්‍යංශයට වෙන්කර ඇති අතර ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ.

ඊට පසු වැඩිම මුදලක් මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති බවත් එම මුදල බිලියන250.1ක් බවත් සඳහන්වේ. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද ඉහළ නංවා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වසරේ වැය ශීර්ෂය බිලියන 126.5කි. එය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල බිලියන 153.5කි. එය මෙම වසරට සාපේක්ෂව බිලියන හයක අඩුවීමකි.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි. ඉන් බිලියන 1776ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් සඳහාය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version