Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කතෝලික ප්‍රජාවගේ විශ්වාසය කඩ කරන්න එපා! – ජේ.වී.පී.යෙන් රජය වෙත කර ඇති ඉල්ලීම

පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවට, ජාතිවාදය සහ අන්තවාදය ඇවිස්සීමට නොයෙකුත් පාර්ශවයන්ව රජය යොදා ගන්නා බව ජේ.වී.පී.ය චෝදනා කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගිය සතියේ මාධ්‍ය හමුවක දී මෙම චෝදනාව නගා ඇත.

පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය විමර්ශනවලට රජයේ ඇතැම් පාර්ශවයන් බාධාවක් වී ඇත. රජයේ ඇතැම් පාර්ශවයන්, කාදිනල් හිමිපාණන්ව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කර ඇත.

මෙය ජාතික සංහිඳියාවට තර්ජනයක් වනු ඇත. නිවැරදි දිශාවට විමර්ශනය ගෙන යාමට මෙය එක් බාධාවක් බව ද හේරත් මහතා පැවසීය.

මෙය කතෝලික ජනතාවගේ ගැටළුවක් පමණක් නොවේ, සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළුවකි. එමෙන්ම මෙය ජාතික ආරක්ෂාවේ ගැටළුව ද වනු ඇත. එහෙයින් අනාගතයේ මෙවැනි ප්‍රහාරයන් වළක්වා ගැනීම වැදගත් යැයි විජිත හේරත් මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මේ සියල්ල අභිබවා, රජය මෙම ප්‍රශ්නය වෙනතකට යොමු කිරීම සඳහා උත්සාහ කරන බවට ද විජිත‍ හේරත් මහතා චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේ දී ප්‍රකාශ කළ පොරොන්දුව රටේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා, ජනාධිපති පියවර ගත යුතුයි. ජනවාර්ගික කණ්ඩායම් අවුස්සා ගැටළුව වෙනතකට හැරවීම වෙනුවට වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි ද විජිත හේරත් මහතා ඉල්ලා සිටියේ ය.

කතෝලික ප්‍රජාවගේ විශ්වාසය කඩ නොකරන ලෙස ද විජිත හේරත් මහතා රජයට බල කර ඇත.

Exit mobile version