Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දියේ ගිලීමෙන් වසරකට ලංකාවෙන් පමණක් මරණ 800ක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ගෝලීය දියේ ගිලීම වැළැක්වීමේ පළමු යෝජනාව සම්මත කර, ජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරමින් පවසන්නේ, දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා 220,000 අධික පිරිසක් මිය යන අතර, ඉන් 1/3 ක් වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලින් බවයි.

මේ අතර ගෝලීය වශයෙන් දියේ ගිලීමෙන් වැඩිපුරම මරණයට පත්වන්නේ වයස අවුරුදු 1-4 අතර ළමුන්ය. අවුරුදු 1-9 අතර ළමුන්ගේ මරණ සඳහා ප්‍රධානතම හේතුව දියේ ගිලීම බවට හඳුනාගෙන ඇත.

සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් 800 ක් පමණ දියේ ගිලීමෙන් මිය යන අතර, එය නොදැනුවත්ව සිදුවන අනතුරුවලින් මිය යන සාධක අතුරින් දෙවැනි සාධකයයි. වින්දිතයින්ගෙන් බහුතරය වයස අවුරුදු 21 ක් 60 ත් අතර ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයට අයත් වේ.

මරණ හැරුණු විට, දියේ ගිලීමෙන් පසු බේරාගනු ලැබුවත්, දියේ ගිලී සිටි කාලය තුළ මොළයට ලැබුණු ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම හෝ නොමැතිවීම, ඔවුන්ගේ මතකය සම්බන්ධ ගැටලු ඇතුළු ඇතුළු ඉගෙනීමේ දුර්වලතා මෙන්ම මූලික ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නැතිවීම දක්වා දිගුකාලීන ආබාධවලට හේතුවිය හැකිය. දියේ ගිලීම මහජන සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමාජ ආර්ථික සංවර්ධන අභියෝගයකි.

දියේ ගිලීම් සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස නුසුදුසු මිනිස් හැසිරීම හඳුනාගෙන ඇත. එම නිසා දියේ ගිලීම් වලින් වන අනතුරු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වැඩිදියුණු කිරීම, දියේ ගිලිණු පුද්ගලයන් ඉන් ගලවා ගැනීමේ පුහුණුව, යනාදිය ජල සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කිරීමට ඉතා වැදගත් වේ. තවද රටේ ජල සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා නව නීති රීති හා රෙගුලාසි හඳුන්වාදීම ද අත්‍යවශ්‍යය,

Exit mobile version