Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකාවට හිමිවන කොටස, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩු පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් වරාය අධිකාරිය මගින් මේ වන විට සකස් කරමින් පවතී. එය සඳුදා (01) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.

මේ තීරණය සම්බන්ධයෙන් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද, එය අසාර්ථක විය.
වරාය විෂය භාර හිටපු ඇමතිවරයා වන, වත්මන් මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
‘නැගෙනහිර පර්යන්තය කොටස් වෙළෙඳපොළට විවෘත කරනවා නම් ඒක හොඳ දෙයක්. ඇයි මොකක්ද ඒකෙ තියෙන වරද. අනෙක් සියයට 49, සියයට 51 යෝජනාවෙ තියෙන වැරැද්ද මොකක්ද. නමුත් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න තවම තීරණයක් අරගෙන නැහැ’
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව වරාය සේවකයන් විසින් (29) සිට විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත ය. එහි මූලික පියවර ලෙස අකුරට වැඩකිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සමකැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා පැවසීය.නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්පූර්ණයෙන්ම හිමිවිය යුතු බවත්, සියයට 51 සහ සියයට 49 ලෙස ආයෝජනය කිරීම සම්පූර්ණයෙන්ම මුසාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සියලු නිලධාරීන් (28) මේ පිළිබඳව මහ නායක හිමිවරුන්ව දැනුවත් කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සියයට සියයක් මෙහෙයවිය යුතුයි කියන යෝජනාවලිය කැබිනට් අනුකාරක සභාව වෙත අපි භාරදීලා තියෙනවා. මේ අවස්ථාව වන විට නැගෙනහිර පර්යන්තය සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කිරීමක් යැයි පවසමින් කරන්නෙ මුසාවක් බව පැහැදිලියි. මේ සියලු කරුණු හේතුවෙන් (29) කෑම පැයේදි උද්ඝෝෂණයක් සහ ඉන්පසුව අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියක් දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ අදහස් දැක්වීය.
‘කොළඹ වරායේ අයිතිය අපිට තියාගෙන ආයෝජනය කරන්න ආයෝජකයන්ට ඉඩදෙනවා. ඒකෙ වැරැද්දක් මම දකින්නෙ නැහැ. මොකද නැගෙනහිර පර්යන්තයෙන් බහුලව සිදුවෙන්නෙ ප්‍රතිඅපනයන. එතැනදි අපි බොහොමයක් ප්‍රතිඅපනයන සිදුකරන්නෙ ඉන්දියාවට.’
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක පවසන්නේ වෘත්තීය සමිති කුමක් කීවද, කරන්නේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිලිව අවධාරණය කර ඇති බවයි. ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ තීරණයේ වෙනසක් නැති බවයි.

මේ අතර නැගෙනහිර පර්යන්තය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා රජයේ අමාත්‍යවරුන් පිරිසක් (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට සූදානමින් සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

– medialk

Exit mobile version