Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන් අයට උදවු කිරීම නත්තලේ සැබෑ අරුතයි – විපක්ෂ නායක

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

අංග සම්පූර්ණ 21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණයක - සජිත්

නත්තලේ සැබෑ අරුත සිහි ගැන්වීමට නම් හැකි පමණින් අනෙකාට උදව් කළ යුතු යැයි නත්තල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා නිකුත් කර ඇති එම සුබ පැතුම් පණිවුඩයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

“දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙලොවට බිහි වීම සමරන උතුම්ම මංගල්‍යය නත්තල නම් වෙයි. එය උන්වහන්සේ මුළු මහත් මනුෂ්‍ය සංහතියටම දැක්වූ විශේෂම උපහාරය ලෙස සැලකේ. ඒ උතුම් නත්තල සමරණ ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන්ට මෙන්ම ලෝකවාසී කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමු.

මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත්, ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවත් දක්වන්නට ජේසු තුමන් උගන්වා තිබේ. “නුඹලාට උගන්වා ඇත්තේ ඇසට ඇසක් යනුවෙන්. ඔබලාට උගන්වා ඇත්තේ ගලකින් පහර දුන්නොත් පර්වතයකින් ආපසු පහරදී යුක්තිය ඉෂ්ට කර ගන්නා ලෙස. එහෙත් මා නුඹලාට පවසන්නේ සතුරාට ප්‍රේම කරන්න කියායි ” යනුවෙන් ජේසුස් වහන්සේ දේශනා කොට තිබේ.

නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමයයි. ආගමික අන්තවාදය, ආගමික ත්‍රස්තවාදය ක්‍රියාත්මක වනවා නම් එය ආගමික කතුවරුන්ගේ ඉගැන්වීම නොවේ.

පන්සලත්, පල්ලියත්, දෙවොලත් බවට මිනිසුන්ගේ හදවත් පත් වේ නම් ලෝකය වඩාත් අසිරිමත් වනු ඇත. ආගම දහම ඇත්තේ මිනිසා ජීවත් කරවීමට මිස මිනිසාට පීඩා කිරීමට නොවේ. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙයද වපුරන බව” බයිබලයේ සඳහන්‍ වේ.

යහපත, මනුෂ්‍යත්වය පිරුණු රටක්, ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිදු පෙන්වා ඇති මාර්ගයයි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ ගැබ්ව ඇති උතුම් මානව ගුණය වටහා ගැනීමට කටයුතු කිරීම නත්තලේදී ඉතා වැදගත්ය. අපි මෙවර නත්තල සමරන්නේ මුළු ලෝකයම මුව ආවරණ දමා ගෙන ඉන්න වකවානුවකය. එය මෑත ඉතිහාසයේ මුහුණ දුන් බරපතළම ලෝක ව්‍යසනයයි. ඒ සමඟම “අලුත් දුප්පත්කමින් ” ලෝකයම පීඩා විඳිමින් සිටී. අපේ රටේත් ලක්ෂ ගාණක් ජනතාව රැකියා අහිමිව, එදා වේල නොමැතිව ජීවත් වීම පවා විශාල අර්බුදයක් වූ අවස්‍ථාවකට මුහුණ දී සිටී. ඒ නිසා හැකි පමණින් අනෙකාට උදව් කිරීම මේ අවස්‍ථාවේ සැබෑ නත්තලේ අරුත සිහිගන්වයි.”

Exit mobile version