Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක්, දැරියන් 50 දෙනෙකු පමණ ළමා මවුවරුන් බවට පත්වේ

මාස 7කදී ළමා අපයෝජන පැමිණිලි 5000ක්

මාස 7කදී ළමා අපයෝජන පැමිණිලි 5000ක්

මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මවුවරුන් බවට පත් වන බවට හඳුනාගෙන ඇති බැව් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා පවසයි.

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් පමණ දිස්ත්‍රික්ක 25න් ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මේ අතරින් මොණරාගල, පොළොන්නරුව, අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධීන් විශාල වශයෙන් වාර්තා වන බව ද පෙන්වා දෙයි.

ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් වසරකට මොණරාගල දිස්ත්‍රික්කය තුළ ළමුන් 500 දෙනෙකු පමණ පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා පවසයි. එමෙන් ම, මොණරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමයින් 10 දෙනෙකු පමණ ළමා මවුවරුන් බවට පත්වන බව ද ඒ මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා මෙසේ ද කීවේය.

“ගැබ් ගන්නා ළමා මවුවරුන් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදීමට රැඳවුම් මධ්‍යස්ථානයක් කිසිදු රෝහලක දක්නට නැහැ. ළමා අපයෝජන හා කාන්තා හිංසනයට ලක්වූවන්ට නීතියේ පිළිසරණ ලබාදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමු කරන අතරතුර ඔවුන් පුනරුත්ථාපනය කොට යළි සමාජගත කිරීමේ පසුබිම සකස් කළ යුතුයි.

මෙසේ අපයෝජනයට හා ළමා මවුවරුන් බවට පත්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල් පහසුකම් ප්‍රමාණවත් අයුරින් තියෙනවා. එහෙත් ගැබ් ගන්නා ළමා මවුවරුන් වෙනුවෙන් ළමා හා ගර්භණී නිවාසයක්, නොමැතිවීම නිසා දිගුකාලීන ප්‍රතිකාර හා රැකවරණය ලබාදීම මානසික තත්ත්වය යථා තත්ත්වයට පත්වනතුරු ආරක්ෂා කිරීම, ගර්භණී දැරියන්ට නේවාසික පහසුකම් සැලසීම යන කරුණුවලදී නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට, තවමත් නොහැකි වී තියෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.

Exit mobile version