ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අතරතුර මානුෂීය ආධාර කටයුතුවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ගැටුම්වලට අදාළ අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කරන ලෙසත්, දශක ගණනාවක් පුරා පවතින දණ්ඩමුක්තිය (impunity) අවසන් කරන ලෙසත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) යළිත් වරක් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු අධ්යක්ෂ ස්මෘති සිං (Smriti Singh) පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර නීතිය යටතේ ගැනෙන අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවත්, ලක්ෂ සංඛ්‍යාත වින්දිතයින්ට සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීම තවමත් ඉටු නොවූ කරුණක්ව පවතින බවත්ය.
2009 වසරේදී අවසන් වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අතරතුර සිදු වූ බවට එල්ල වන අපයෝජන චෝදනා විමර්ශනය කිරීමට සහ වගවීම තහවුරු කිරීමට බලයට පත් වූ ශ්‍රී ලංකා රජයන් තුළ පැවති අකමැත්ත මෙම වාර්තාවේ සොයාගැනීම් මගින් පිළිබිඹු වන බව සිං මහත්මිය පැවසුවාය.
මෑතකදී සිදු කළ කැණීම්වලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 583 දෙනෙකුට අධික පිරිසකගේ මිනිස් අවශේෂ සොයා ගත් චෙම්මනි (Chemmani) ඇතුළු සමූහ මිනීවළවල් අඛණ්ඩව හඳුනා ගනිමින් තිබියදීත් දණ්ඩමුක්තිය තවදුරටත් පවතින බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ මානුෂීය ක්‍රියාකාරකම්වලට එල්ල වූ ප්‍රහාර, අද වන විට ලොව පුරා පවතින ගැටුම්වලදී දක්නට ලැබෙන එවැනිම සිදුවීම් සඳහා ආදර්ශයක් සහ පෙරනිමිත්තක් බවට පත්ව ඇති බවට වාර්තාවේ ඇති සොයාගැනීම් ද සිං මහත්මිය ඉස්මතු කළාය.
ශ්‍රී ලංකාව තුළ වගවීමක් නොමැතිකම සහ අඛණ්ඩව පවතින දණ්ඩමුක්තිය, වෙනත් ස්ථානවල අපරාධ සිදු කරන්නන් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නන් දිරිමත් කිරීමට හේතු විය හැකි බවට ඇය අනතුරු ඇඟවූවාය.
මෙම වාර්තාව සහ යුක්තිය, සත්‍යය සහ වන්දි ලබා දීමට ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ අපොහොසත් වීම හේතුවෙන් අඛණ්ඩ ජාත්‍යන්තර අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියේ (OHCHR Sri Lanka Accountability Project) කටයුතු අඛණ්ඩව කරගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළ එම සංවිධානය, විශ්ව අධිකරණ බලය (universal jurisdiction) පිළිබඳ මූලධර්ම හරහා ඇතුළුව වගවීම ඉදිරියට ගෙන යාම සඳහා එම ව්‍යාපෘතියේ සම්පත් භාවිත කරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.
‘මම බොහෝ වාරයක් මිය ගියෙමි: ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාරවලට එල්ල වූ ප්‍රහාර, වසර 20කට පසු’ (I Died Many Times: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On) යන මැයෙන් යුත් මෙම එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී සියලුම පාර්ශ්වයන් විසින් මානුෂීය සේවකයින්ට සහ මෙහෙයුම්වලට එල්ල කළ ප්‍රහාර මෙන්ම මානුෂීය ආධාර සීමා කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විමර්ශනය කෙරේ.
ශ්‍රී ලංකාව තුළ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ ඊට අදාළ අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීම, තහවුරු කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඉල්ලා සිටි 2021 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 දරන යෝජනාව යටතේ වගවීමේ වරම ක්‍රියාත්මක කිරීම සඳහා OHCHR ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය ස්ථාපිත කරන ලදී.
යුද සමයේ මානුෂීය ප්‍රහාර ගැන නව එ.ජා. වාර්තාවක්; වගවීම ඉල්ලා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් අවධාරණ

