Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34 දෙනෙක් ශ්‍රී ලංකාවට

2018 වසරේ යළි ආරම්භ කළ ඇමෙරිකානු සාම බලකා වැඩසටහන යටතේ විශාලතම ස්වේච්ඡා සේවක කණ්ඩායම ශ්‍රී ලංකාවට

උතුරු සහ උතුරු මැද පළාත්වල පාසල්වල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු සාම බලකායේ (Peace Corps) ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ වසර දෙකක සේවා කාලයක් ආරම්භ කර තිබේ.

ඒ වෙනුවෙන් පැවැති සේවා ප්‍රතිඥා ප්‍රදාන උත්සවයට ඊයේ දින(17) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතිගරු එරික් මේයර් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.

2018 වසරේදී වැඩසටහන යළි ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි විශාලතම සාම බලකා ස්වේච්ඡා සේවක කණ්ඩායම මෙය වේ.

මෙම ස්වේච්ඡා සේවකයන් ශ්‍රී ලාංකික ගුරුවරුන් සමඟ එක්ව පන්තිකාමර ඉගැන්වීම් සහ ගුරු පුහුණු වැඩසටහන් ඔස්සේ සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, අධ්‍යාපනික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා වැදගත් වන බව අවධාරණය කළේය.

“රාජ්‍යතාන්ත්‍රික සබඳතා සෑම විටම සාකච්ඡා මේසයක් හරහා ආරම්භ වන්නේ නැහැ. ඇතැම් විට එය පන්ති කාමරයක මේසයක් හරහා ආරම්භ විය හැකියි.”

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාම බලකා වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙෆ්රි ගෝවියා මහතා ඇතුළු කණ්ඩායම මෙම හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් දක්වන කැපවීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අධ්‍යාපනික සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ ජනතා අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ඇත.

Exit mobile version