දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යොදවා ගනිමින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණි.
එහිදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව එක් නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනයට අනිසි වාසියක් සැලසීම සහ ඒ තුළින් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රධාන ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

