ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව වෙනුවෙන් රජය විසින් මේ දක්වා වැයකර ඇති සමස්ත මුදල රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හැත්තෑ අටදහස් පනස් දෙකක් (රු. 26,278,052.39) බව අනාවරණය වී තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමුකරන ලද ලිඛිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විසින් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අදාළ පිළිතුරට අනුව, රෝහණ විජේවීර මහතාගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දියණියන් සිව්දෙනා වන දසුන් ඊගා, සුපුන් මාගා, මායා විභූති, අමා සසිරි යන අයටත්, පුතුන් දෙදෙනා වන උවිඳු විදුර සහ සුපුන් අදිශ යන අයටත් මෙලෙස රජයේ පූර්ණ රැකවරණය හිමිවී තිබේ.
මෙම පවුලේ සාමාජිකයන් අතරින් විජේවීර මහතාගේ බිරිඳ සහ තෙවන දියණිය වන මායා විභූති විජේවීර යන අය තවදුරටත් රජයේ රැකවරණය යටතේ පසුවන අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ මාසික නඩත්තුව වෙනුවෙන් රජය දැනටත් මසකට රුපියල් 153,220.25ක මුදලක් වැය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

