ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.
ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම ‘QDENGA’ එන්නත භාවිතය සඳහා අවසරය ලබා දී ඇත.
මෙම එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා අනුමත කර ඇති අතර මීට පෙර ඩෙංගු වැළඳී තිබුණද නොතිබුණද මෙය ලබා ගත හැකි බවද සඳහන්.
එමෙන්ම මෙම එන්නත සඳහා පූර්ව එන්නත් පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවද වාර්තා වේ.
මෙය මිලිලීටර් 0.5ක එන්නත් මාත්‍රා දෙකක් ලෙස මාස තුනක කාලයක් ලබා දීම සිදු කරයි.
2022 සිට ‘QDENGA’ එන්නත රටවල් 43ක අනුමත කර ඇති අතර, ගෝලීය වශයෙන් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු බහුලව පවතින කලාප සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර, එන්නතට පෙර පරීක්ෂණ අවශ්‍ය නොවන බැවින් ඉහළ ව්‍යාප්තියක් ඇති ප්‍රදේශවල මහජන ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට මෙය ඇතුළත් කර ඇත.
මෙම ‘QDENGA’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ද ලබා ඇති අතර එමඟින් ජාත්‍යන්තර ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාවය තහවුරු කර තිබේ.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම එන්නත සඳහා අනුමැතිය හිමිවීම ඉන්දියාව තැබූ දැවැන්ත පියවරක් වන බවය.
ඩෙංගු බහුලව පවතින මෙන්ම ඩෙංගු නොමැති කලාපවල 28,000ක සහභාගීවන්නන් පිරිසක් සම්බන්ධ කරගනිමින් අදියර I, II සහ III ලෙස පවත්වන ලද සායනික පරීක්ෂණ 19කින් පසුව මෙම අනුමැතිය ලැබී ඇති බවද සඳහන්.
වයස අවුරුදු 4ත් 60ත් අතර පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීමට ලක් කරමින් ඉන්දියාවේ පවත්වන ලද ‘Phase III DEN-302’ සායනික පරීක්ෂණයේ ප්‍රතිඵල ද මෙලෙස අනුමැතිය ලැබීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

