ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් ඉදිරියේදී රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය තරුණ ශ්‍රම බලකායේ දැඩි හිඟයක් ඇති විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කළෙ,ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවති සභාවාරය අතරතුරයි.
එබැවින් වැඩිපුර දරුවන් ලැබීම අගය කරන සහ ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙලක් රට තුළ වහාම ඇති කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
දරු උපත් අඩුවීමට බලපා ඇති හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ, විවාහ වන වයස ඉහළ යාම සහ විවාහ අනුපාතය පහළ යාම,දික්කසාද සහ විවාහ වෙන්වීම් සංඛ්‍යාව ඉහළ යාම, ඉහළ ජීවන වියදම සහ ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාවය, දරුවන් ඇති දැඩි කිරීම අධික වියදම් සහිත කටයුත්තක් බවට සමාජය තුළ පවතින මතය, කොවිඩ් වසංගතය නිසා ඇති වූ කම්පනය සහ තරුණ ප්‍රජාව විශාල වශයෙන් රට හැර යාමයි.
මෙයට විසඳුමක් ලෙස මාතෘ පිතෘ සහ දෙමාපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම, ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වලට යන වියදම අඩු කරන්න රජය විශේෂිත වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු විකල්ප කිහිපයක් ඔහු පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,
“330,000ක්- 360,000ක් අතර ප්‍රමාණයක් ප්‍රශස්ත වාර්ශික දරු උපත් සංඛ්‍යාව වශයෙන් සලකන්න පුලුවන්. අද මේක දෙලක්ෂය දක්වා අඩු වෙලා තියෙනවා…
මේ රටේ දරුවෝ උපදින් නැත්නම්, ප්‍රමාණවත් තරම් දරු උපත් සංඛ්‍යාවක් නැත්නම්, මේ රටේ දැනටමත් තිබෙන පාසල් දස දහසට ප්‍රමාණවත් තරම් දරුවෝ නැත්නම් අපි දැනටමත් ගොඩනගලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන ධාරිතාවට ගැලපෙන ප්‍රමාණයේ දරුවන් ඉදිරියේ එන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම සාමාන්‍ය විද්‍යාවේදී උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධිවලට ප්‍රමාණවත් තරම් ළමයි සංඛ්‍යාවක් දැන් ඇතුලත් වෙන්නේ නැහැ.
මේක ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. මොනවද අපිට මේ ගැන කරන්න පුළුවන්? මේ සඳහා යැපෙන දරුවන් සිටින පවුල් සඳහා බදු සහන හෝ ආදායම් බදු අඩු කිරීම් කරන්න ඕනේ. ළමයි ඉන්න පවුල්වලට විශේෂයෙන් සලකන්න ඕන. ඒ ඒ අයව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සුදුසුකම්ලත් පවුල් සඳහා මූල්‍ය ආධාර සහ දරු උපත්වලදී ප්‍රදානයන් ලබලා දෙන්න ඕනේ. ලෝකයේ මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නහම ඒ රටවල් කරලා තියෙන ක්‍රමයක්.
ඒ වගේම මාතෘ පිතෘ සහ දෙමාපිය නිවාඩු ප්‍රතිලාභ ඉහළ දැමීම. අම්මට, තාත්තට දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ. ළමයි හදන්න දිරිමත් කරන්න ඕනේ. දරුවෙක් ඉපදුනාම ඇතිවන ඒ අභියෝගයන් වලට මුහුණ දීම සඳහා රජය ශක්තිය ලබලා දෙන්න ඕනේ. ළමා සුරැකුම් සේවා සහ මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වලට යන වියදම අඩු කරන්න රජය විශේෂිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ.
ඒ වගේම තරුණ පවුල් සඳහා නිවාස ආධාර ක්‍රම හෝ සහනදායි නිවාස ණය පහසුකම්. ඒ කියන්නේ දරුවෝ වැඩි වැඩියෙන් ඉන්නකොට ණය පොළිය අඩු කරන්න ඕනේ. සහන ලබා දෙන්න ඕනේ.
ඒ වගේම තරුණ යුවළ සඳහා විශේෂයෙන්ම දරුවන් ලබන දරුවන් සිටින පවුල්වලට මේ ආරක්ෂාව ලබලා දෙන්න ඕනේ. වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන දිය යුතු, අගය කළ යුතු දෙයක් බවට පත් කරන්න ඕන.”

