Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Uber, Pickme මුළු ගාස්තුවටම වැට් ගැසීමේ බදු උගුලක් කාරක සභාවේදී හෙළිවෙයි

Uber, Pickme මුළු ගාස්තුවටම වැට් ගැසීමේ බදු උගුලක් කාරක සභාවේදී හෙළිවෙයි

Uber, Pickme මුළු ගාස්තුවටම වැට් ගැසීමේ බදු උගුලක් කාරක සභාවේදී හෙළිවෙයි

ඌබර් සහ පික්මී වැනි ප්‍රවාහන සේවා මඟින්, මගියෙකුගෙන් අය කරන සම්පූර්ණ ගාස්තුව මත වැට් බදු පැනවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දරන උත්සාහය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, බදු පැනවිය යුත්තේ අදාළ සමාගම් ලබාගන්නා කොමිස් මුදලට පමණක් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වාදෙන්නේ මුළු මුදලටම බදු ගැසීමෙන් සාමාන්‍ය කුලී රථ සහ ත්‍රිරෝද රථ ව්‍යවසායකයන් දැඩි ලෙස අසරණ වන බවයි.

හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීමේදී, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් බදුකරණය සම්බන්ධයෙන් දේශීය ආදායම් නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් උණුසුම් සංවාදයක් ඇති විය.

මෙහිදී හර්ෂ ද සිල්වා මහතා උදාහරණයක් ඉදිරිපත් කරමින්, “අපි හිතමු පාර්ලිමේන්තුවේ ඉඳලා නාවල හන්දියට පික්මී හෝ යූබර් එකකින් ගියාම රුපියල් 300ක් ගත්තා කියලා. දැන් කොහොමද මේකට වැට් ගණනය කරන්නේ?” යනුවෙන් නිලධාරින්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ, අදාළ ඩිජිටල් වේදිකාව සේවා සපයන්නා වන බැවින්, එම රුපියල් 300ක සම්පූර්ණ ගාස්තුව ඇතුළතින් 18%ක වැට් බද්ද ගණනය කර අය කරගත යුතු බවයි.

නිලධාරීන්ගේ එම පිළිතුර ප්‍රතික්ෂේප කළ හර්ෂ ද සිල්වා මහතා, අදාළ ක්‍රියාවලිය තුළ සේවාවන් දෙකක් පවතින බවත් වාහනයේ ලීසිං වාරික ගෙවීම, ඉන්ධන පිරවීම සහ ධාවනය කිරීම් සියල්ල සිදු කරනු ලබන්නේ රියදුරා විසින් බවත් පෙන්වාදුනි.

එමෙන්ම ඌබර් සමාගම මෘදුකාංගයක් හරහා ඉල්ලුම සහ සැපයුම සම්බන්ධ කිරීම පමණක් සිදු කරන බව පැවසූ හර්ෂ ද සිල්වා මහතා, ඌබර් සමාගම සතුව වාහන නොමැති වටපිටාවක, රියදුරා සපයන සේවාවද ඇතුළත් කර සමස්ත රුපියල් 300ක මුදලටම වැට් බදු පැනවීම අසාධාරණ බව වැඩිදුරටත් අවධාරණය කලේය.

එහිදී නිලධාරිනියක් පෙන්වා දුන්නේ එකල ලීසිං සමාගම් වාහනය ලබානොදී පහසුකම සැපයීම සේවාවක් ලෙස සැලකූ පරිදි, මේ මුළු සේවාවේ වටිනාකම රුපියල් 300ක් ලෙස සලකා බදු පැනවිය යුතු බවයි.

නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රිවරයා කියා සිටියේ, රුපියල් 300න් රුපියල් 280ක්ම හිමිවන්නේ බාහිරින් සේවා සපයන රියදුරාට වන අතර සමාගමේ පිරිවැටුම වන්නේ ඉතිරි රුපියල් 20 හෝ 50ක කොමිස් මුදල පමණක් බවයි.

රියදුරාගේ රුපියල් 250ට බදු වැදිය යුත්තේ ඔහුගේ පෞද්ගලික ආදායම බදු සීමාව ඉක්මවා ගියහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් ලෙස පමණක් බවත්, සමාගමේ මෘදුකාංග කොමිස් මුදලට පමණක් වැට් පැනවිය යුතු බවත් කාරක සභාව තුළදී මන්ත්‍රීවරයා පැවසුවා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ත්‍රිරෝද රථ මිලියන 1.3කගේ ඉන්ධන දීමනාව සම්බන්ධයෙන්ද කරුණු මතු කළ අතර, ඉන්ධන දීමනාව ලබාගැනීම සඳහා තමන්ට දවසකට ලක්ෂයක පිරිවැටුමක් ඇතැයි ත්‍රිරෝද රථ හිමියන් ප්‍රකාශ කර තිබීම නිසා, ඔවුන් නොදැනුවත්වම වැට් බද්දට යටත් වීමේ නීතිමය අවදානමක් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නා.

එහිදී නිලධාරීන්ට උපදෙස් දුන් හර්ෂ ද සිල්වා මහතා, “ඕක තුළින් හැම ත්‍රිරෝද රථ හිමියෙක්ටම වැට් ගෙවන්න වෙන තැනට වැඩ කරන්න එපා. මේක හරියට බෙදාගන්න” යනුවෙන් සඳහන් කළා.

කෙසේවෙතත් අතීතයේ දේශීය මෘදුකාංග වැට් බද්දෙන් නිදහස්ව තිබූ අතර, ඇතැම් සමාගම් තමන් දෙන්නේ මෘදුකාංග යැයි පවසමින් බදු නොගෙවා සිටීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු තක්සේරු නිකුත් කර තිබු බව මෙහිදී නිලධාරින් කියා සිටියා.

නිලධාරින් පවසන්නේ, පසුව ඔවුන් උසාවි ගියද, මෙය මෘදුකාංග සැපයීමක් නොව මෘදුකාංග පාවිච්චි කර දෙන සේවාවක් බවට උසාවිය තීන්දු කළ බවයි.

2019 දී තොරතුරුතාක්ෂණයෙන් සක්‍රීය කළ සේවා සඳහා දුන් පුළුල් බදු නිදහස් කිරීම් පසුව කළ සංශෝධනවලින් ඉවත් කර ඇති නිසා, දැනට එවැනි කිසිදු නිදහස් කිරීමක් නොමැති බව නිලධාරින් වැඩිදුරටත් කියා සිටියා.

Exit mobile version