පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වර්තමාන රජයේ ප්‍රබලයින් සහ දේශපාලන අධිකාරිය සමඟ සමීප සබඳතා පවත්වන බව පවසමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ මාධ්‍ය හමුවකදී ඡායාරූප සහ සාක්ෂි සහිතව කරුණු අනාවරණය කළා.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයින් සමඟ සමීපව කටයුතු කරන ආකාරය මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වාදුන්නා.
“මේ ඉන්නේ සහරාන්, මේ ඉන්නේ අනුර, මේ ඉන්නේ සුනිල් හඳුන්නෙත්තිලා එක්ක ඉන්න අය” යනුවෙන් පවසමින් උන්වහන්සේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත එහිදී ප්‍රදර්ශනය කළා.
විශේෂයෙන්ම 2007 වසරේදී “මිලිටරි මූව්මන්ට්” යන සංවිධානයට සම්බන්ධ බවට වාර්තා වූ ෆල උල්හක් වැනි පුද්ගලයින් අද වන විට රජයේ ප්‍රබලයින් සමඟ සිටින බවත්, ඔවුන් පසුගිය මැතිවරණවලදී ජනාධිපති සහ අගමැති ඡායාරූප යටතේ ඡන්දය ඉල්ලූ බවත් උන්වහන්සේ පවසනවා.
එමෙන්ම බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, බුද්ධි අංශ ගිණුම් හරහා බොදු බල සේනාවට මුදල් ලබා දුන් බවට කරන ප්‍රකාශය අසත්‍ය බවයි.
“දැන් තමුන් වහන්සේලාගේ ආණ්ඩුවනේ තියෙන්නේ, පුළුවන් නම් ඔය කියන එකවුන්ට් අංක හෙළි කරන්න. සල්ලි දුන්නේ ඩොලර්වලින්ද, රුපියල්වලින්ද කියලා රටට පෙන්නන්න” යනුවෙන් උන්වහන්සේ අභියෝග කළා.
එමෙන්ම ඥානසාර හිමියන් පවසන්නේ, මංගල සමරවීර මහතා ආරම්භ කළ ගොබෙල්ස් න්‍යාය වර්තමාන රජයද ක්‍රියාත්මක කරන බවයි.
ලංකාවේ ඉස්ලාම් අන්තවාදය දේශපාලන නායකයින්ට වඩා ඉහළින් පවතින බවත්, රජය දැනුවත්වම අන්තවාදීන් ආරක්ෂා කරන බවත් උන්වහන්සේ පෙන්වාදෙනවා.
වසර 25ක් ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරයේ සිටි, මරාගෙන මැරෙන චින්තනය පෝෂණය කළ හජ්ජුල් අක්බර් වැනි පුද්ගලයින් රජයේ අනුග්‍රහයෙන් කටාර් රාජ්‍යයේ ඉෆ්තාර් උත්සව සඳහා යවන බව ද උන්වහනසේ පැවසුවා.
එමෙන්ම ත්‍රස්තවාදයට මුදල් යොදවන බවට ලොව රටවල් කිහිපයක් තහනම් කර ඇති “කටාර් චැරිටි” ආයතනය සමඟ වත්මන් රජය ගනුදෙනු කරන බවටද උන්වහන්සේ චෝදනා එල්ල කළා.
2012 වසරේ සිට පාරම්පරික සුෆී මුස්ලිම්වරුන් තමන් හමුවීමට පැමිණ වහබ්වාදී අන්තවාදය ගැන තොරතුරු ලබා දුන් බව හිමියන් සිහිපත් කළ අතර “අලවි මවුලානා මහතා එදා කාත්තන්කුඩි, තිහාරිය වැනි ප්‍රදේශ ගැන කළ අනතුරු ඇඟවීම් පාලකයෝ නොසලකා හැරියා. ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵලය තමයි 2019 පාස්කු ප්‍රහාරය” යනුවෙන් උන්වහන්සේ පැවසුවා.
තමන් මේ වන විටත් දේශපාලන දඩයම්වලට ලක්ව පස් වතාවක් සිරගත වූ බව සිහිපත් කළ ඥානසාර හිමියන්, සත්‍ය යටපත් කිරීමට තවදුරටත් ඉඩ නොදෙන බව අවධාරණය කළා.
“මම ළඟදීම බුද්ධිමය මිසයිලයක් අත්හරිනවා. එතකොට මේ හැම බොරුවකටම උත්තර හම්බවෙයි. නියපොත්තෙන් කඩාගන්න තිබුණු දේ දේශපාලනය නිසා විනාශ කරගත්තා. බොරු කියන අයට මෙලොවත් පරලොවත් විඳවන්න සිද්ධ වෙනවා.”

