Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතිඥයන්ට දැඩි තර්ජනකාරී තත්ත්වයක් – විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක්

නීතිඥයන්ට තර්ජන කියා විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක්

නීතිඥයන්ට තර්ජන කියා විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාවට එල්ල වී ඇති දැඩි තර්ජනකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් රැසක් එක්ව ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වෙත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව තුළ නීතිඥවරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය බරපතල අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ සඳහා වහාම මැදිහත් වන ලෙසට ජාත්‍යන්තර වෘත්තීය සංවිධානවලින් ඉල්ලා සිටින බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ජීවන් තොන්ඩමන්, මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කළා.

ඔවුන් එම නිවේදනය මගින් මෙරට තුළ වර්ධනය වෙමින් පවතින වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන රැල්ල මෙන්ම නීති වෘත්තියට එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳවද කරුණු අනාවරණය ක‍ර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි 13වන දින අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය නීති වෘත්තියට දැඩි කම්පනයක් ගෙන දී තිබෙන බව එම නිවේදනයෙහි සඳහන්.

මීට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වසර 14කට පසු ගත් සුවිශේෂී තීරණයකට අනුව පෙබරවාරි 16 වනදා දිවයින පුරා නීතිඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත්ව සිටි අතර, ඒ හේතුවෙන් සියලුම අධිකරණ වසා තැබීමට සිදු වුණා.

අදාළ නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයකට පෙර, එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රතිඵලයක් බවට පොලීසිය ප්‍රකාශ නිකුත් කිරීම වගකීම් විරහිත සහ සිද්ධිය යටපත් කිරීමේ උත්සාහයක් ලෙස නිවේදනය පෙන්වාදෙනවා.

පොලිස් බලකාය දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවටද මෙහිදී චෝදනා කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂය පෙන්වාදෙන්නේ, යෝජිත නව ත්‍රස්ත විරෝධී නීතිය හරහා මහජන මතය යටපත් කිරීමටත්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමටත් රජය උත්සාහ කරන බවයි.

මෙය ජාත්‍යන්තර සම්මුතීන් පවා උල්ලංඝනය කිරීමක් බව ඔවුන් අවධාරණය කළා.

තවද මෙම නිවේදනයෙහි සඳහන් වන්නේ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමටත්, පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් දරුණු ලෙස අසමත් වී ඇති බවයි.

ඒ අනුව මෙම ඒකාබද්ධ නිවේදනය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන්, මනෝ ගනේෂන්, ප්‍රේමනාත් සී. දොලවත්ත, සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, අසංක නවරත්න සහ සෙනල් වෙල්ගම ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැසක් සිය අත්සන් තබා තිබෙනවා.

Exit mobile version