කොළඹ වානිජ මහාධිකරණය විසින් කලාශුරි මොහිදින් බෙග් මහතා විසින් ගායනා කරනු ලැබු ගීත 09ක් ප්‍රචාරය කිරිම සහ වෙනත් තුන්වන පාර්ශවයක් වෙත ලබා දීම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කරයි.
ඒ අනුව “සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, සුවදේ මට සීතල සුලග පවා, සම්මා සම්බුදු වු, මල් සුගන්දේ දම් සුගන්දේ, බුදුන්ගේ අමා ධර්මේ, නින්දා ප්‍රශංසා, සරවන බව, අනේක ජාති සංසාරේ” යන ගීත යුටියුබ් තුළ ප්‍රචාරණය කිරිම සහ වෙනත් තුන්වන පාර්ශවයන් වෙත පැවරීම අධිකරණය විසින් වාරණය කරනු ලැබීය.
මෙම ගීත වල පටිගත කිරිමේ සහ නිෂ්පාදනය කිරීමේ බුද්ධිමය දේපළ හිමිකම පවතින කලාශුරි මොහිදින් බෙග් මහතාගේ පුත් මොහිදින් ඉල්ලියාස් බෙග් විසින් මෙම නඩුව එම්. එන්ටර්ටෙන්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගමට එරෙහිව ගොනු කර තිබුණි.
සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය M. Entertainment (Pvt) limited සමාගමට එරෙහිව නිකුත් කරනු ලැබීය. තවද එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත පැවරිම, විකිණිම හා සමාජ මාධ්‍යතුල ප්‍රචාරය කිරිම ඇතුළු ක්‍රියාවන්ද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ එකී කලාශුරි මොහිදින් බෙග් මහතාගේ ගීත සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් විත්තිකාර M. Entertainment සමාගම විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.
පැමිණිලිකාර මොහිදින් ඉල්ලියාස් බෙග් මහතා වෙනුවෙන් නීතිඥ තිළිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නඩුව සඳහා නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියේය. මෙම නඩුව නැවත මේ මස 31 වැනිදිනට කැදවීමට අධිකරණය නියම කරනු ලැබීය.

