Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

අදාළ සාකච්ඡාවට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය අඟහරුවාදා දිනයේ (10) සිට ක්‍රියාත්මක කිරීමට කම්කරු කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනවා ඇති.

රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.පසුව අදාළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.

ඒ අනුව වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ජුලි 4වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. පසුව වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජුලි 24වනදා කටයුතු කර තිබුණි.

එහිදී කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ, රුපියල් 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබූ පසුබිමක වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම ඉකුත් අගෝස්තු 06 වනදා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනුණි.

පසුව අගෝස්තු 14 වනදා වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. ඒ, පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවය.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වූ අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වුණි. ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වුණි.

එවන් පසුබිමක කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් පඩි පාලක සභාව සමග සාකච්ඡා කර මෙම අවසන් තීරණයට එකඟවී තිබුණි.

Exit mobile version