Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිය හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර 20,000ක් වැසීයාමේ අවදානමක්

කම්හල් සහ ව්‍යාපාර 20,000ක් වැසීයාමේ අවදානමක්

කම්හල් සහ ව්‍යාපාර 20,000ක් වැසීයාමේ අවදානමක්

විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන 15,000 – 20,000 සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රජයට පෙන්වා දෙයි.

අද රටේ බොහෝ කම්හල් සහ ව්‍යාපාරික ස්ථාන අධික විදුලි බිල හේතුවෙන් පවත්වාගෙන යන්නේ ඉතාම අමාරුවෙන් බවද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ මෙම ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් දීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විදුලිය අඩුවෙන් වැය වන විදුලි බල්බ සහනදායි ක්‍රමයට හෝ නොමිලයේ හඳුන්වාදීම, සූර්ය පැනල ඉතා අඩු වාරික යටතේ ගෙවීමේ ක්‍රමයට ලබා දීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට යොමු වියයුතු බවද සඳහන් කළේය.

විදුලිය පරිභෝජනය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම අත්හදා බැලීම සහ ඒවා ජනතාවට හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඒ පිළිබඳ අවබෝධයක් ඇති විද්වතුන්ට විශේෂඥයන්ට පැවරිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

අධික විදුලි බිල, ඉන්ධන මිල ඇතුළු හේතු කාරණා හේතුවෙන් කම්හල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි පැවසූ ගාමිණී වලේබොඩ මහතා මේ ආයතන බොහොමයක් වැසී ගියේ කොරෝනාවලින් පසුව ආර්ථිකයේ ඇතිවූ අර්බුදය හේතුවෙන් බවද ප්‍රකාශ කළේය.

අධික විදුලි බිල හේතුවෙන් ක්ෂුද්‍ර, සුලු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ට විඳීමට සිදුවී ඇති දුෂ්කරතා ගැන ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධ කර වැඩපිළිවෙලක් කඩිනමින් පිළියෙල කරන ලෙස කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Exit mobile version