Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිභෝජනය කරන පොල්තෙල් වලින් 72% සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් නෑ

දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 1500ක් පමණ වැසී ගොස්

දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 1500ක් පමණ වැසී ගොස්

ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර පොල්තෙල් නිෂ්පාදනය සඳහා තරු පහකින් යුත් ලාංඡනය 2019 වර්ෂයේදී ලබාගෙන තිබුණේ පොල් තෙල් මෝල් හතක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සහ අපනයනය කරනු ලබන පොල් නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිති නියම කිරීම හා පවත්වාගෙන යෑම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බව විගණන අංශ එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේය.

මේ අතර කොහු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ පාර්ශවයන් පුහුණු කිරීමේ අරමුණින් 2006 වර්ෂයේදී ආරම්භ කර තිබූ දුන්කන්නාව කොහු සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය කටයුතු සේවක හිඟය හා යන්ත්‍ර උපකරණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් 2020 වර්ෂයේ සිට නතර කර තිබූ බව පවසන විගණන කාර්යාලය මේ හේතුවෙන් රුපියල් ලක්ෂ 15ක වියදමින් මිලදීගෙන තිබූ යන්ත්‍රෝපකරණ සහ ගෘහ උපකරණ විනාශවීමේ අවදානමක පැවතුන බවද සඳහන් කළේය.

පසුගිය වසර හතරක කාලය තුළ ෆාම් ඔයිල් ආනයනය මෙට්‍රික් ටොන් 199433ක් වූ බවත් ඒ අනුව ප්‍රමිතියෙන් යුත් යුතු පොල්තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු නොකර දේශීය පොල්තෙල් පරිභෝජනයෙන් වැඩි කොටසක් ෆාම් ඔයිල් හා ආනයනික පොල්තෙල්වලින් සපුරා ගැනීම පොල් සංවර්ධන අධිකාරියේ අරමුණුවලට අනුරූප නොවන බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පොල් සංවර්ධන අධිකාරියේ අලුත්ම කාර්ය සාධන වාර්තාවේය.

Exit mobile version