Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිල වැඩි නොකලොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවනවා – විදුලිබල මණ්ඩලය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

විදුලි බිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට (13) දැනුම් දුන්හ.

විදුලිය බිල වැඩි නොකළහොත් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ. විදුලිය බල මණ්ඩලයේ ප්‍රධානීන් මෙසේ පෙන්වා දුන්නේ විදුලිය බිල ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ජාතික සභාවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීහුද ජාතික සභාවට (13) කැඳවනු ලැබ සිටියහ.

විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව (15) අවසන් තීරණය ගැනීමට පෙර, එම කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන ලෙස, ජාතික සභාව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව (13) පස්වරුවේම දෙපාර්ශවය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.

ජාතික සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී (13) පස්වරුවේ රැස්විය. මෙහිදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ජාතික සභාවට පැවසුවේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම් දීම සදහා මේවනවිට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි. විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් දැනටමත් ලබාගෙන ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදේශ ගත වීම සම්බන්ධයෙන්ද ජාතික සභාවේ අවධානය යොමුවිය. මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවත් සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදේශයේ සිට ලබාදෙන බවත් කොමිසමේ ලේකම්වරිය මෙහිදී පැවසුවාය.

Exit mobile version