Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යල කන්නයේ බිත්තර වී කිලෝවකට රුපියල් 150ක්

වී අස්වනු මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රු.මි. 2000ක්

වී අස්වනු මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රු.මි. 2000ක්

යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

දැනට බිත්තර වී කිලෝවක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති මිල රුපියල් 140ක් වුවත් එය ගොවි ජනතාවගේ පැත්තෙන් ගත් කළ සාධාරණ මිලක් නොවන හෙයින් කිලෝව 150 බැගින් මිලදී ගැනීම⁣ට කටයුතු කරන ලෙසත්, ඊට අදාලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

2022 /2023 මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය බුසල් ලක්ෂ 40ක් බවත් රජයේ බිත්තර වී ගොවිපොළ මගින් ලබා ගන්නා බිත්තර වී ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 10-12ක් අතර ප්‍රමාණයක් වන අතර ඉතිරි බිත්තර වී ගොවීන් වෙතින් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට බිත්තර වී වගා කළ ඇතැම් ගොවීන් තම අස්වැන්න සහල් සැකසීම සඳහා වැඩි මිලකට වෙළෙඳුන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

බිත්තර වී සහල් සැකසීම සඳහා වෙළෙඳුන්ට අලෙවි නොකරන ලෙස ඉල්ලා සිටින අතර එසේ කළහොත් මීළඟ මහ කන්නයට බිත්තර වී හිඟයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ගොවීන් සතු බිත්තර වී මිල දී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම මැදිහත් වී කටයුතු කරන ලෙස උපදෙස් දුන් බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර යල කන්නයේ වී අස්වනු වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Exit mobile version