Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය ජූනි 18 සිට මාස දෙකකට අධික කාල සීමාවක් වසා දැමීමට තීරණය කොට තිබේ.

වසර පහකට වතාවක් සිදු කළ යුතු මෙම අනිවාර්ය නඩත්තුව සඳහා අවම දින 75ක පමණ කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 270ක් දෛනිකව සපයන අතර ඩීසල් බලාගාරයන් සඳහා උග්‍ර ඩීසල් හිඟයක් ඇති මොහොතක මෙලෙස නොරොච්චෝලේ බලාගාරය වසා දැමීම දැඩි විදුලි අර්බුදයකට මග පාදන බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඩීසල් අර්බුදය හමුවේ රටට අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීම සඳහා මේ දිනවල ජල විදුලි බලාගාරවලට අමතරව විශාල සහායක් ලබා දී ඇති නොරොච්චෝලේ බලාගාරය මෙලෙස තාවකාලිකව වසා දැමීමෙන් අහිමි වන විදුලි ධාරිතාවන් ඩීසල් බලාගාරයන්ගෙන් ලබාගත යුතු බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.
ජල විදුලි බලාගාරයන්ගෙන් ජාතික පද්ධතියට විදුලිය එක් කිරීම ජූනි 15 වනවිට සියයට 59 දක්වා පහත වැටී ඇති බව විදුලිබල මණ්ඩල දත්තවලට අනුව සඳහන් වේ.

මේ වන විට ජාතික විදුලිබල පද්ධතිය සඳහා සුළං බලාගාරවලින්ද අවම දායකත්වයක් ලබා ගන්නා අතර ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය මෙලෙස වසා දැමීමෙන් පුරප්පාඩු වන විදුලි ධාරිතාවෙන් වැඩි කොටසක් ජල විදුලි බලාගාරවලින් පිරිමසා ගත යුතු වුවද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව ලැබීමද පෙර දිනයන්ට සාපේක්ෂව අඩු වී ඇතැයි සඳහන් වේ.

මේ තත්ත්වය හේතුවෙන් කාර්යබහුල වේලාවන්හිදී අවශ්‍ය කෙරෙන මෙගාවොට් 2700කට ආසන්න විදුලි ධාරිතාව සැපයීමට අපොහොසත් වුවහොත් දෛනික විදුලි කප්පාදු පැය ගණන වැඩි කිරීමට සිදු වන බවද විදුලිබල මණ්ඩලය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version