Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය.
මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පතට විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවාදය ආරම්භයේදී ප්‍රකාශ කළේ‍ය.

ඇමැතිවරයා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙහිදී පැවසීය. රජය මේ පනතෙන් කිසිවකුගේ නිදහස සීමා කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ පනත මගින් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට උත්සාහ දරන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය. ලෝකයේ රටවල් රැසක මේ පනත සම්මත කරගෙන ඇතැයි පැවසූ අධිකරණ අමාත්‍යවරයා පනත සම්මතවූ පසු එය මේ කලාපයේ සම්මත කළ පළමු රට බවට ශ්‍රී ලංකා පත්වන බවද ප්‍රකාශ කළේය. ඉන්දියාව පවා මෙවැනි පනතක් තවමත් සම්මත කර නැතැයිද මේ රටේ කෝටි දෙකකට වැඩි ජනතාවගේ දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පනතේ ප්‍රධාන අරමුණ බවද ඔහු කීය.

මෙය හදිසි පනතක් නොවන බවත් ගැසට් කිරීම නිසා මේ පනත මුළු රටම දුටු බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉතා ප්‍රගතිශීලී එකක් බව පැවසූ අලි සබ්රි මහතා පනත ගැන බිල්ලකු මැවීමෙන් වළකින්නැයි ඉල්ලීමක් කළේය.

Exit mobile version