Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞභාග්‍යයේ දැක්මෙන්, බයිසිකලය සහ දර මිටිය නැවතත් කරළියට

මෙවර නිදහස ලබා අවුරුදු 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට අත්කරගෙන ඇති එකී ‘සාර්ථකත්වයේ’ මුදුන් මල්කඩ ගෝඨාභය රාජපක්ෂයි. වරද සහ වගකීම ඔහුගේ පමණක් නොවේ. අප හැමෝගෙමයි. එහෙත්, මේ සා තීව්‍ර ආකාරයකින් එකී සමස්ත කතාව කෙටිම කාලයකින් විදාරණය කළ ශිල්පියා ඔහු ය.

මේ ආණ්ඩුවට නැවත වරක් රට බාර දීමට ජනතාව සූදානම් නැති බව දැන් සක්සුදක් සේ පැහැදිලියි. ප්‍රවෘත්ති වාර්තා දක්වන පරිදි ආසියාවේ මේ මොහොතේ ශීඝ්‍රතම උද්ධමනය අත්විඳිමින් සිටින රට බවට ලංකාව පත්ව තිබේ. ඒ, මෙතෙක් එම ‘ගෞරවය’ දැරූ පාකිස්තානයටත් ඉස්සර වෙමිනි.

ආණ්ඩුව අසාර්ථක වීම එක කාරණයකි. ඒ අසාර්ථකත්වය, රාජ්‍ය නායකයන් විසින්ම බඩ පැළෙන විහිළුවක් බවට පරිවර්තනය කොට දිනපතා සමාජයට මුදාහැරීම වෙනම කාරණයකි. හුදී ජනතාව ගැඹුරු ආර්ථික සහ දේශපාලනික කාරණා බොහෝවිට හරිහැටි අවබෝධ කර නොගනිති. හඳෙන් හෝ හාල් ගෙනත් දෙන්නෙමැයි කී විට ජනතාව එම පක්ෂය වරක් බලයට පත්කර ගත්හ. එහෙත්, යමක් හාස්‍යයට නැඟෙන විට ඒ කාරණය එම ජනතාවම පහසුවෙන් තේරුම් ගනිති. ඇතැම් බරසාර දේවල්, සැහැල්ලු හාස්‍යයට නැංවීමට ඕනෑම රටක හුදී ජනතාව සමත් ය. ජනකතා සාහිත්‍යයක් රටක ගොඩනැඟෙන්නේ ඒ සුහුරුවෙනි.

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ නායකයන් මේ දවස්වල තමන්ගේ මහදවල් අසමත්කම් ජනතාවගේ රසාස්වාදය ජනනය කරවන අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩහැරීම, මීට කලින් පැවති කිසි රාජ්‍ය පාලනයක දකින්නට නොලැබුණු අලුත් තත්වයකි. තමන් හරි හැටි අවබෝධ කරගෙන නොසිටි හෝ පාලකයන් විසින් එතෙක් කල් වසං කොටගෙන සිටි නිසා දුරවබෝධ වූ බොහෝ ගැඹුරු කාරණා ඒ ජනතාවට වැටහී යන්නට පටන්ගන්නේ එවිට ය.

රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් අද ඇති බව කෙනෙකු අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. එසේ කාටත් ඇස්පනාපිට දකින්නට පුළුවන් තත්වයක් තිබියදී පවා, රටේ කිසි භාණ්ඩ හිඟයක් නැතැයි බැසිල් රාජපක්ෂ පවසන විට මුලින්ම මිනිසුන්ගේ ඇස් උඩ යයි. ඊළඟට, තමා එසේ කියන්නේ මන්දැයි බැසිල් රාජපක්ෂ විස්තර කරන විට, මිනිස්සු බඩ අල්ලාගෙන සිනාසෙන්නට පටන් ගනී. ඔහුට අනුව, මිනිසුන් පෝලිම් ගැසී සිටීමෙන් පෙන්නුම් කරන්නේ එම භාණ්ඩය වෙළෙඳපොළේ තිබෙන බවලු. එසේ නැත්නම්, මිනිසුන් ඒ විදිහට නැති භාණ්ඩයක් ගැනීමට පෝලිම් ගැසී සිටීදැයි ඔහු පෙරලා එම ජනතාවගෙන් ප්‍රශ්න කරයි.

විදුලිය කැපීම දැන් කාලයක සිට අතරින්පතර කෙරෙයි. ඊළඟ සතිය වන විට, මුළු රටටම දිනකට පැය කිහිපයක් අනිවාර්යයෙන් අඳුරේ සිටීමට සිදුවන බවත් කියනු ඇසේ. ඊට හේතුව, අප්‍රේල් දක්වා දිග්ගැස්සෙන බව කියන ඉඩෝරය විය හැකි බවට ඇතැමුන් කියන කතාද ඒ අස්සෙන් සමාජගත කෙරේ. එහෙත් හැම වසරකම මුල් මාස කිහිපයේ වර්ෂාපතනයේ යම් අඩුවක් සිදුවන බවත්, එහෙත් ඒ හැම වසරකම එම කාලයේ මෙවැනි විදුලිය කප්පාදුවකට පාලකයන් ගොස් නැති බවත් එක පැහැර මිනිසුන්ගේ කල්පනාවට එන්නේ නැත. එසේ තිබියදී, පසුගිය සති කිහිපය තිස්සේ, විදුලිය භාර ඇමතිවරයාත්, ඛණිජ තෙල් භාර ඇමතිවරයාත් එකිනෙකට පරස්පර කතා කියමින් සිටිති. විදුලිය භාර ඇමතිවරයා විදුලිය කප්පාදුවක් සිදු නොවන බවට පුනපුනා ශපථ කරයි. ඛණිජ තෙල් භාර ඇමතිවරයා අවධාරණය කරන්නේම, එවැනි කප්පාදුවක් අනිවාර්ය වන බවයි.

Exit mobile version