Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාර්යසාධක බලකාය පිහිටුවීම තුල පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාකාරිත්වයට බාධා – නීතිඥ සංගමය

කාර්යසාධක බලකාය පිහිටුවීම තුල පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු බොහෝ ආයතනවල ක්‍රියාකාරිත්වයට බාධා - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

කාර්යසාධක බලකාය පිහිටුවීම තුල පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු බොහෝ ආයතනවල ක්‍රියාකාරිත්වයට බාධා - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

‘එක රටක් – එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම’ යනුවෙන් උදෘතයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙරට තුළ එම සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය කාර්ය සාධක බළකාය විසින් අධ්‍යයනය කළ යුතු අතර එම අරමුණ වෙනුවෙන් නීතියක් කෙටුම්පත් කළ යුතු බවයි. එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

නීතියක් කෙටුම්පත් කිරීම හා දැනට පවතින නීති අධ්‍යයනය කිරීම රජයේ ආයතන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ යුතු අතර නීති සම්පාදන බලය යනු මහජන ස්වෛරීභාවයේ එක් සාධකයක් බවද ඔවුන් අවදාරණය කරනවා. නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බව පෙන්වාදෙන නීතිඥ සංගමය වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් ශක්තිමත් කර ඇති බවද සඳහන් කරනවා.

එම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නීති සහ ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ මේ වන විටත් අන්තර්ගත වන බවයි ඔවුන් පවසන්නේ.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය නිසි නියෝජනයක් සහිත ව්‍යුහයක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිරීක්ෂණයයි. “කාන්තා සහ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් කිහිපයක් නියෝජනයන් නැත”යි ඔවුන් පවසනවා.

“ගැසට් නිවේදනයේ විස්තර කර තිබෙන කාර්යයන් ඉටුකිරීමේදී එම ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයාගේ හා බොහෝ සාමාජිකයන්ගේ සුදුසුකම්, විශේෂඥභාවය හා යෝග්‍යභාවය පිළිබඳව බරපතල සැකයන් මතුවේ.

“ එම කාර්යසාධක බලකාය පිහිටුවීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය අනුව පිහිටුවන ලද පාර්ලිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය ඇතුළු බොහෝ ආයතනවල ක්‍රියාකාරිත්වයට බාධා සිදුවන බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි” යනුවෙන් සංගමය තම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් මෙම ලිපියට අත්සන් තබා ඇත්තේ එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරීස් සහ එහි ලේකම් රජීව් අමරසූරිය විසින්.

Exit mobile version