Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020 ටෝකියෝ ඔලිම්පික් ගිනි සිළුව නිවී යද්දී ඔලිම්පික් තිඹිරි ගෙය ඇතන්ස් ගිනි දැල්වලින් වෙළී යයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසානය අද දිනයේ සනිටුහන් වෙද්දී නූතන ඔලිම්පික් උළෙලේ තිඹිරි ගෙය වන ග්‍රීසියේ ඇතන්ස් නුවර ගිනි දැල්වලින් වෙළී ගියේය.

ග්‍රීකයන්ගේ වීරත්වය ගැන අපමණ වෘත්තාන්තවලින් ඉතිහාසය පිරී ඇත. නමුත් ඇතන්ස් ගිනි ගෙන තිබේ. අන්තර්ජාතික පුවත් සේවාවන් මේ පුවත වාර්තා කරන්නේ ඇතන්ස් නුවර ගිනි ජාලාවලින් වටලා ඇති බවට ය. මුළු අහසම රත්-තැඹිලි පැහැයෙන් ගැවසී ගෙන ඇත්තේ ලෝක විනාසය පිළිබඳ සියලු ආකාරවල මනෝ උපකල්පනයන්ට වඩා සැබෑව බිහිසුණු බව පෙන්වා දෙමිනි.

සති ගණනාවක් මුළුල්ලේ ඇතන්ස් නුවර උෂ්ණත්වය සිතාගත නොහැකි තරම් වේගයෙන් ඉහළ යමින් තිබුණේය. දිනෙන් දින වාර්තා අලුත් වන බව පෙනිණි. සඳුදා දිනයේ තත්වය භයානක නම්, අඟහරුවාදා දිනය වන විට තත්වය වඩාත් භයානක වී තිබුණේය. රටේ ඇතැම් තැනක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47 දක්වා ඉහළ නැංගේය. ඇතන්ස් හි පොළොව මත උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 55 ඉක්මවා යමින් තිබෙන බව පෙන්වා දුන්නේ තාප කැමරා සහ ද්‍රෝන කැමරාවන් ය.

අවසානයේ පසුගිය සතියේ බදාදා දිනය වන විට ඇතන්ස් අගනුවරට උතුරුදිගින් පිහිටි ළඳු කැලෑ ගිනි ගන්නට පටන් ගත්තේය.

මහා ඉතාලි කවි දාන්තේ ලියූ දිව්‍යමය ප්‍රහසනයේ පළමු කෙටස – ඉන්ෆර්නෝ (Inferno) මගින් විස්තර කරන්නේ අපායේ පැමිණෙන කවියාගේ ගමන් විස්තරයයි. එවැනි අපායන් කිහිපයක්ම එකවර ඇතන්ස් මත මැවී ඇත්තා සේ ය. අපායේ සිට නැගෙන ගිනි දැල්, උතුරන ලෝදිය සදිසි ව වැගිරෙන උණුසුම.. මේ සියල්ල විසින් සියල්ල උණු කර දමමින් තිබේ. ඇතන්ස් හි මහා මන්දිරවල අළු ගොඩක් බවට සෙමෙන් පත් වේ. ලැව්ගිනි සහ දැඩි උණුසුම මත මැවී ඇත්තේ මිහිපිට අපායයි.

ඇතන්ස් ඉතිහාසයේ පළමු වරට ‘ප්‍රධාන තාප නිලධාරියෙකු‘ (chief heat officer) පරිපාලනය සඳහා පත් කර ඇත. දේශගුණික විපර්යාස මැඬ පැවැත්වීම සඳහා කටයුතු කිරීම ඔහුගේ රාජකාරියයි. එලෙනි මිරිවිලි නමැති ඔහු, බ්‍රහස්පතින්දා සවස මෙසේ ඊ මේල් පණිවුඩයක් යවයි.

‘‘… ඇතන්ස්වලට අළු වැස්සක් වහිනවා..‘‘

ඒ අළු, ගිනිගත් ගහකොළ විසින් අහසට විදින විලාපයේ ශේෂයන් ය. ඒ වන විට ගිනි නිවන භටයන්ට සහාය පිණිස හමුදාව ද කැඳවා ඇතත් පලක් වන බවක් පෙනෙන්නට නැත.

තත්වය අතිශයින්ම භයානක බව සහ මොනවා වේදැයි කිව නොහැකි බව පවසන්නේ ග්‍රීසියේ සිවිල් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා ය. රටේ ජනාකීර්ණ පෙදෙස්, විදුලි බලාගාර සහ ඓතිහාසික බිම් රැකගැනීමේ ‘කළ නොහැකි කාර්යය‘ ඔහුගේ උර මත පැටවී තිබේ. ගතවූ සතිය තුළ පමණක් ලැව්ගිනි 154 ක් මේ කලාපවල හටගෙන ඇත. එයින් 60කටත් වඩා මේ ලිපිය ලියන මොහොත වන විටත් ඇවිළෙමින් තිබේ.

ඇතන්ස් නුවරුන්ට දැන් මුහුණු වැසුම් පැළඳීමට සිදුව ඇත්තේ කෝවිඩ් වසංගතයෙන් බේරීමට නොව, විෂ සහිත වාතය ආඝ්‍රාණය කිරීමෙන් බේරීම සඳහා ය. ඇසිඩ් දුම අතිශයින් ගනකම් ය. එය තැඹිලි පැහැති ය. නිවෙස්වල කවුලු නිතරම වසා දමන ලෙස පැවසෙන්නේ විෂ දුම පාලනය සඳහා ය. එක්සත් රාජධානිය ඇතන්ස් වෙත ජල බෝම්බ එල්ල කළ හැකි ගුවන් බලඇණි ද එවා ඇත. නමුත් වියරු ගින්න පසු බැස යන බවක් නොපෙනේ.

සෙල්සියස් අංශක 40 ඉක්මවූ එකළඟ දින 11 කට පසු සිකුරාදා දිනයේ උණුසුම මදක් සමනය විය. නමුත් සුළං වේගය ඒ සමගම වැඩි වුණේ ඇතන්ස් නගරය තුළ අලුත් ගිනි දැල් ජාලා මවමිනි.

ඇතන්ස් නගරයේ ප්‍රධාන ජල සංචිතය වන්නේ මැරතන් විලයි. සෙනසුරාදා දිනයේ මැරතන් විල අවට කැලෑ සහ නිවාස ද ගිනිබත් කරමින් ගිනි රකුසා විල වෙතට ඇදී ගියේය. ඇතන්ස් හි ‘හරිත පෙණහැල්ල‘ ලෙස නම් දරා තිබූ පර්නිතා කන්දේ වනෝද්‍යාන වෙත ද ගින්න පැතිරුණේය.

අගනුවරට නැගෙනහිර පිහිටා ඇති එවියා දූපත ප්‍රචලිත වන්නේ සංචාරක සහ ධීවර කර්මාන්ත නිසා ය. පුරා දින 7 ක් දූපත ගිනි ගත්තේය. ෆෙරි යාත්‍රා, සංචාරක බෝට්ටු ආදිය සහමුලින්ම විනාශ වී ගියේය. මුහුදුබඩ ගම්මාන සහ වෙරළ තීරවලින් 1,000 කට අධික පිරිසක් පළා යාම අරඹා තිබිණි. දරුවන් කිහිල්ලේ ගසාගෙන, වියපත් වූවන් සහ ගිලනුන් පුටු මත තබා ඔසවාගෙන ඔවුහු නැව් නගින්නට තැත් කළහ.

ග්‍රීක අගමැති කිරියාකෝස් මිට්සොටාකිස් අවසානයේ මෙසේ කියයි. ‘‘මේ හදිසි විපතට හේතුව දේශගුණික විපර්යාසයයි..‘‘

ලෝකයේ සෙසු රටවල්, මේ සත්‍යය වටහාගන්නේ කවදාද?

ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව නිවී යද්දී ගිනි සිළුවලට මැදි වූ ඔලිම්පික් උළෙලේ තිඹිරි ගෙයින් සමාප්ති සටහනක් තබන්නට සිදුවීම ඛේදජනක ය.

Exit mobile version