Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය – NGO ක්‍රියාකාරිකයන්ට දිනේෂ් පවසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය; කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය; කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බවත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා තිබුණේ මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන (NGO) ක්‍රියාකාරිකයන් පිරිසක් සමග විදේශ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී යි.

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විවිධ වැරදි මත ප්‍රචාරය වෙමින් පවත්න බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව ඔහු පවසනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා විදේශ අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවල (NGO) ක්‍රියාකාරිකයන් එකලොස් දෙනෙකු පමණ සම්බන්ධ වී සිටි බවයි විදේශ අමාත්යංශය කියන්නේ.

“ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විවිධ වැරදි මත ප්‍රචාරය කරනවා. ඇත්තටම අපි රජයක් විදියට මේ පනතේ යම් යම් වගන්ති වෙනස් කරන්න අවධානය යොමු කරල ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරල තියෙනවා. ඒ අයට උදව් වෙන්න තව නිලධාරින් ගේ කමිටුවකුත් පත් කරල තියෙනවා. අපි මේ හැම දෙයක්ම විවෘතව විනිවිදභාවයෙන් යුතුව කර ගෙන යනවා.සංහිදියාව පිළිබදවත් එහෙමයි.අපේ රජය ජාතීන් අතර සංහිදියාව පවත්වා ගෙන යන්න සමානාත්මතාව රැක ගන්න කටයුතු කරල තියෙනවා. ඒවා ගේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා ගැන සොයා බලලා අවශ්‍ය පියවර ගන්න අපි රජයක් විදියට බැදී ඉන්නවා” යැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කළුපහන පියරතන හිමි සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි, මෙතෝදිස් පල්ලියේ බිෂොප් ආසිරි පෙරේරා, ජාතික සාම මණ්ඩලයේ ජෝ විලියම්, ශ්‍රි ලංකා මුස්ලිම් සංවිධායේ හිල්මි අහමඩ්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිනයක වන ආචාර්ය දයානි පනාගොඩ ඇතුළු මහත්ම මහත්මීන් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. සාකච්ඡාවට සම්බන්ධ වූ පිරිස ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඇතුළු සංහිදියා වැඩ පිලිවෙලට අදාල කරුණු රැසක් පිළිබදව දීර්ඝව සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

Exit mobile version