Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මේ ආණ්ඩුවට ලෝක බැංකුවට,IMF එකට යන්න බැරිකමමට ණය ගන්නේ නෑ කියන්නේ “– මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

"දැන් රජය කියනවා ලෝක බැංකුවෙන්වත්, IMFන්වත් ණය ගන්නේ නෑ කියලා. ණය ගන්නේ නෑ නෙමෙයි, මේ අයට ඒ ආයතනවලට යන්න බැරිකම තියෙන්නේ"– මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

"දැන් රජය කියනවා ලෝක බැංකුවෙන්වත්, IMFන්වත් ණය ගන්නේ නෑ කියලා. ණය ගන්නේ නෑ නෙමෙයි, මේ අයට ඒ ආයතනවලට යන්න බැරිකම තියෙන්නේ"– මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් ලයිස්තුව පසුගියදා කැද අදරකා සඟරාව මගින් ඉදිරිපත් කළා. ආර්ථික ස්ථාවරය, රැකියා වෙළඳපොළ, සමානාත්මතාව වගේ නිර්ණායක කිහිපයක් එකී වර්ගීකරණයේදී මූලිකත්වය ගත්තු නිර්ණායක අතර තිබුණා. කෙසේ නමුත් ඊට අනුව අපිට හිමිවුණේ ගෝතමාලාව, උගන්ඩාව වගේ රටවලටත් වඩා පහළ ස්ථානයක්?

ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත්තාම, නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ අත්දැකපු ප්‍රබලම ආර්ථික කඩාවැටීම තමයි මේක. කොටින්ම කියනවා නම් දෙදහස් විස්ස වර්ශයේ ආර්ථික වර්ධනය ඍණ 3.6ක් වගේ ඉතාම පහළ මට්ටමට ගියා. ඒ ආර්ථික කඩාවැටීම එක අංශයක නෙමෙයි සියලු අංශවල එක සේ දකින්න පුළුවන්. අපේ රටේ මේ ආර්ථික වර්ධනය රටේ ආර්ථිකයේ තිබුණු ප්‍රගතිය ආපස්සට ගමන් කිරීමක් හා සමානයි.

දෙදහස් දහනමය වර්ෂයේ ඉඳන් ක්‍රමයෙන් අපේ ඒකපුද්ගල ආදායම අඩු වුණා. දෙදහස් විස්ස වර්ෂයේ මේ මට්ටමටම පහළ වැටුණා. ඒ අනුව අපි ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයේ ඉඳන් පහළ මැදි ආදායම් ලබන රටක් කරා තල්ලුවෙමින් යනවා කියන්න පුළුවන්. ඒ ආර්ථික බිඳවැටීමත් එක්ක තමයි රැකියා වියුක්තිය වගේ අනික් ගැටලු ඉස්මතුවෙන්නේ.

සමානාත්මතාව කියන සංකල්පය වුණත් සලකා බැලීමේදී මූලික වශයෙන් වැදගත් වන සාධකයක් තමයි ආදායම් බෙදී යෑමේ තත්ත්වය. ගිනී සංගුණකය (Gini coefficient) සහ ලෝරන්ස් වක්‍රය (Lorenz Curve) වගේ ආර්ථික විද්‍යාවේ සංකල්ප අනුව ජනතාවගෙන් එක් එක් 20%ට ආදායම් බෙදී යන ආකාරය දක්වනවා. ඒ අනුව ලංකාවේ අඩුම ආදායම් ලබන ජනතාවගෙන් 20%ට හා වැඩිම ආදායම් ලබන 20%ට ජාතික ආදායමෙන් හිමිවන ප්‍රතිශතය බලපුවාම මේ කාරණයේ තියෙන ගැටලුව පැහැදිලියි. මොකද මේ වන විට අපේ රටේ අඩුම ආදායම ලබන 20%ට රටේ මුළු ආදායමෙන් ලැබෙන්නේ 4.8%ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක්. ඒ වගේම රටේ වැඩිම ආදායම් ලබන 20% අතේ රටේ ජාතික ආදායමෙන් 51%ක් වගේ ලොකු කොටසක් බෙදී යනවා. එකම රටක ජීවත්වන මිනිස් වර්ගයා අතර රටේ ජාතික ධනය බෙදී යන ප්‍රමාණයේ තියෙන අතිවිශාල පරතරය දැක්කාම ඉතාමත් පැහැදිලියි සමානාත්මතාව රටේ කොයි විදිහටද පවතින්නේ කියලා.

මේ ධනවාදී වෙළඳපොළ ක්‍රමයත් එක්ක ඉහළ ආදායම් ලබන පිරිස අතේ ආර්ථිකය වැඩිදුරටත් බෙදීයන එක සාමාන්‍ය දෙයක්. නමුත් රජයක් තමන්ගේ බදු ක්‍රමයන් හා වියදම් ප්‍රතිපත්ති උපයෝගී කරගෙන ධනපතීන් හා ඉහළ ආදායම් ලබන පිරිස අතර ඒකරාශී වන මේ ආදායම පහළට ගේන්න ඕනෑ. අපි දන්නවා මේ රජය බලයට පත් වුණේ මේ රටේ ආදායම් අසමානතාව අඩු කරනවා කියන පොරොන්දුව පිට. නමුත් වර්තමාන ජනාධිපතිවරයා පත්වූ දවසේ ඉඳන් ඒ ආදායම් අසමානතාව අඩු කරන්න කිසිම වැඩපිළිවෙළක් අනුගමනය කළේ නෑ.

මේ මොහොතේ කෝවිඩ් තත්ත්වය වැඩිපුරම බලපෑම් කරලා තියෙන්නේ අර කියූ අඩුම ආදායම් ලබන පිරිසට. අද ඒ පිරිසේ අදායම් තත්ත්වය අඩුවෙලා විතරක් නෙමෙයි ඇතැම්විට නැත්තටම නැතිවෙලා තියෙනවා. මේ අවුරුද්ද අවසානය හා ලබන අවුරුද්ද එනකොට මේ රටේ අදායම් පරතරය තවදුරටත් වැඩිවෙලා දුප්පත් ජනතාව අන්ත දුප්පත් තත්ත්වයට පත්වීමට නියමිතයි.

කෘෂිකර්මාන්තය, එහෙමත් නැතිනම් පොහොර සම්බන්ධව රජය ගෙනයන ප්‍රතිපත්තිය මේ පරතරය තවදුරටත් තීව්‍ර කිරීම කෙරේ බලපාන්නේ නැද්ද?

ඒක පැහැදිලිව බලපාන සාධකයක් තමයි. මොකද අපි දන්නවා මේ රටේ ගොවි ජනතාව කියන්නේ ඉහළ ආදායම් ලබන පිරිසක් නෙමෙයි පහළ ආදායම් මට්ටමේ ඉන්න පිරිසක් කියලා.

රටක් කාබනික වගාවට යන එකේ යම් හොඳක් තියෙන්න පුළුවන්. නමුත් රසායනික පොහොර නරකයි කියලා කඩිමුඩියේ කාබනික වගාවට යන්න කළින් අපි කරන්න ඕනෑ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හාල්වල, එළවළුවල, තේවල විෂ තියෙනවා කියලා පරීක්ෂණ මගින් ඔප්පු කරලා ඉන්න එක. ඒ වගේම එහෙම තියෙනවා නම් ඒ විෂකාරක ඇතිවෙලා තියෙන්නේ මේ පොහොරවලින් කියලා ඔප්පු කරන්න ඕනෑ. මම කල්පනා කරන විදිහට මේ රටේ පොහොර සම්බන්ධයෙන් තියෙන ගැටලුව රසායනික පොහොර භාවිතය නෙමෙයි. පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව.

නයිට්රේට් වෙන්න පුළුවන්, පොටෑසියම් වෙන්න පුළුවන්, පොස්පරස් වෙන්න පුළුවන් වගාවන්ට අත්‍යවශ්‍ය සංඝටක තමයි පොහොරවලින් ලබා දෙන්නේ. අපි අධීක්ෂණය කරන්න ඕනෑ මේ රසායනික ද්‍රව්‍ය අධිසාන්ද්‍රණයක් අඩංගු පොහොර ආනයනය කරනවාද වගේ දේවල්. දැන් අපි කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන්නේ එක්දහස් නවසිය හැට ගණන්වල ඇතිවුණ හරිත විප්ලවයෙන් පස්සේ නිර්මාණය කළ අධි ඵලදායී බීජ වර්ග (්‍යසටය-හසැකාසබට ඩ්රසැඑසැි). මීට උදාහරණ ලෙස විශේෂයෙන් අපි වගා කරන වී වර්ග පෙන්නලා දෙන්න පුළුවන්. ඒ බීජ නිර්මාණය කරන්නේම රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය මත ගොඩනැගෙන පරිසරයකට. ඒ අනුව මේ අධිඵලදායී බීජ සඳහා කාබනික පොහොර භාවිත කිරීමේදී විශාල අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ ඉන්න ජනගහනයේ පරිභෝජනයට අවශ්‍ය අස්වැන්න අපේ සාම්ප්‍රදායික බීජ වන සුවඳැල්, පච්ච පෙරුමාල් වගේ ඒවාගෙන් පිරිමහගන්න පුළුවන්ද කියන එක හොයලා බලන්න වෙනවා.

ඒ වගේම එවන් කාබනික වගාවන්ගෙන් නිෂ්පාදනය වන අස්වැන්නට පාරිභෝගිකයාට ප්‍රමාණවත් මුදලක් ගෙවන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නයත් මෙතනදි මතුවෙනවා. උදාහරණයක් විදිහට හාල් කිලෝ එකකට රුපියල් 250ක් 300ක් ගෙවන්න පාරිභෝගිකයා කැමති නම් ගොවියාට අලාභයක් වෙන්නේ නැතිවෙයි. ඒත් එවන් මුදලක් ගෙවලා හාල් මිලදීගන්න සාමාන්‍ය පාරිභෝගිකයාට හැකියාවක් තියෙනවාද? ඒ නිසා කාබනික පොහොර භාවිතය මගින් සිදුවන අස්වනු හානිය ඌනපූරණය කරන්න පුළුවන් විදිහක් මිල ක්‍රමය යටතේ ලැබෙන්නෙත් නෑ. ඒ පාඩුව ආණ්ඩුවට ගොවියාට ලබාදීමේ හැකියාවකූත් නෑ.

එහෙම හානියක් සිදුවුණාම ඒක නිවැරදිව තක්සේරු කරන්න ක්‍රමයක් පවා නැතිවෙන්න ඉඩ තියෙනවා. මොකද කිසිම වගාවක් නොකර හෝ ඒ කෙරේ නිසි උනන්දුවක් නොදක්වා ගොවියෙකුට උනත් පුළුවන් තමාට මෙච්චර හානියක් වුණා කියලා ව්‍යාජ විස්තර ලබාදෙන්න. ඉතිං ඒක විශාල ආර්ථිකමය ගැටලුවක් වෙන එක වළක්වන්න බෑ.

කොහොම වුණත් මේ දෙයින් වෙන්නේ ගොවියා විශාල වශයෙන් කෘෂිකර්මාන්තය කෙරේ කලකිරීම. ඒ වගේම රට ආහාර සුරක්ෂිතතාව අතින් අර්බුදයට යන එක. විශේෂයෙන් මේ විදිහේ සෞඛ්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක රටක ආහාර සුරක්ෂිතතාව කවදාටත් වඩා වැදගත්. අනික තමයි මේ විදිහට කාබනික වගාව බලහත්කාරෙන් ගොවියා පිට පටවන්න යෑමට එරෙහිව ජනතාව දැනටත් පාරට බහිමින් ඉන්නේ. ඉදිරියේදීත් එහෙම කරයි. ඒක මේ වසංගතය පාලනය කිරීමටත් විශාල බාධාවක් වෙනවා.

අපිට මතකයි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයෙත් කාබනික වගාව ක්‍රමයෙන් වැඩිදියුණු කරන්න උත්සාහ ගත්තා. ඒ අනුව 2.5%කට වගේ තිබුණ කාබනික වගා බිම් ප්‍රමාණය 6% දක්වා වැඩිවුණා 2017දී. හැබැයි ඊළඟ අවුරුද්ද තුළ මේ විදිහට 6%ක් තිබුණ කාබනික වගා බිම් ප්‍රමාණය 2% දක්වා අඩු වුණා. ඒකට හේතුව ගොවියාට කාබනික වගාවෙන් තම ආර්ථිකය ගොඩනගාගන්න අසීරු වීම. ඒ නිසා කාබනික වගාව ජනාධිපතිවරයාට හරි අතුරලියේ රතන වගේ හාමුදුරු කෙනෙක්ට හරි හිතෙන හිතෙන විදිහට එක රැයකින් කරන්න බෑ. ඒක අවුරුදු දහයක් විතරක්වත් ක්‍රමිකව කරන්න ඕනෑ වැඩක්.

රජය පැහැදිලි කරන්නේ තම පාර්ශ්වය විසින් සියලු දේ මනාව කළමනාකරණය කළ නමුත් රට මේ තත්ත්වයට පත්වීමට මූලික හේතුව කොවිඩ් 19 කියලා?

කොරෝනා කියන්නේ සෞඛ්‍ය වසංගතයක්. ඒක එක පැත්තකින් ජනතාවගේ ජීවිතවලට බලපානවා. අනික් පැත්තෙන් ඒක ආර්ථිකය බිඳවට්ටන වසංගතයක් වෙනවා කියන එක ඇත්ත. ඒත් අපි දන්නවා පේ රටේ පළවෙනි කොරෝනා රෝගියා හම්බවෙන්නේ 2020 මාර්තු මාසයේ. ඒ රෝගියා හම්බවුණු ගමන් අපි අනවශ්‍ය බයකට පත් වුණා. ඊට පස්සේ සමස්ත රටම මාස තුනක් විතර එකවර වහලා දැම්මා. ඒ වන විට රටට විශාල වශයෙන් කොරෝනා ඇවිත් තිබුණේ නෑ. ඒ වෙලාවේ කලබලවෙලා රට වැහීමත් එක්ක විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඊට පස්සේ මේ අය අපිටත් වඩා පහළ තත්ත්වයේ රටක් වන යුක්රේනයෙන් සංචාරකයන් පිරිසක් ගෙන්නුවා. ඒ ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නෑහිතමිතුරන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරලා දෙන්ඩ. ඒ අය රටට ඇවිත් සෞඛ්‍ය නීති පසෙකට දාමින් හැසිරුණා. ඊළඟට ඉන්දියානු සංචාරකයෝ. මිනුවන්ගොඩ පොකුර ආවේ ඉන්දියානු සංචාරකයන් මගින්.

රජයට වසංගතයක් පැවතීම පහසුවක් වෙලා තියෙන්නේ කියලා තමයි පෙනෙන්නේ. මොකද රටේ තියන හැම ප්‍රශ්නයක්ම වසංගතය මත පටවන්න රජයට ඒ නිසා හැකිවෙලා තියෙනවා. තව අවුරුදු හතරකින් පහකින් මේ අය කියයි අපිට මොනවත්ම කරගන්න බැරිවුණේ වසංගතය නිසා කියලා.

මාල දිවයින වගේ රටක් අද සංචාරක කර්මාන්තයට සම්පූර්ණයෙන්ම විවෘත කරලා. ඒ රටේ ජනතාව සියල්ල එන්නත් කරණය කිරීම මගින්. ඒ අනුව එන්නත් දෙකම විදගත් සංචාරකයින්ට මාලදිවයිනට එන්න පුළුවන්. එහෙම නැති අයට ගුවන්තොටුපළේදී එන්නතක් ලබාදීලා රටට ගන්නවා. ඒ නිසා මේ පොදු අර්බුදය එක් එක් රටට දනවන්නේ ඒ අයගේ දේශපාලනික තීන්දු තීරණ හරහා බව පේනවා. අපි අපේ සේවා, කර්මාන්ත හා කෘෂිකාර්මික අංශ නිවැරදි තීන්දු තීරණ මත මෙහෙයවව්වේ නැති බව පේනවා?

ඇත්ත. අද බලන්න ලෝකය කොවිඩ් වසංගතය පදනම් කරගෙනම සමහර රටවල් ඒ අයගේ කර්මාන්ත ක්ෂේත්‍රය කොහොමද වෙනස් කරගත්තේ කියලා. අද එන්නත හොයාගත් රටවලට ඒක කොච්චර ආයෝජනයක් වෙලාද? ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල් පවා අද එන්නත නිෂ්පාදනය කරනවා ඒ අය හොයාගත්තෙ නැතත්. ඒ නිසා ඒ රටවලට විශාල අදායමක් ලැබෙනවා. තවත් රටවල් සැනිටයිසර්, මාස්ක්, සෞඛ්‍ය සේවකයන් පළඳින ආරක්ෂක ඇඳුම්, රෝහල් ඇඳේ සිට රෝහල්වලට අවශ්‍යකරන සියලු උපකරණ නිෂ්පාදනය කරමින් මේ තත්ත්වය හොඳින් කළමනාකරණය කරගත්තා.

අනික් අතට අපිට හරියට මාස්ක් එකක්වත් හදාගන්න බැරිවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ තැන් මාස්ක් හැදුවත් ඒවායේ මිල තරමක් ඉහළයි වෙළඳපොළේ තියෙන සාමාන්‍ය මාස්ක්වලට වඩා. ඒවායේ ගුණාත්මකතාවය වැඩිවෙන්න පුළුවන් තමයි, නමුත් එහෙම වුණාම ඒවා මිනිසුන් අතරට යන්නේ නෑ. මේ වගේ දේවලට ඍජුව රජය මැදිහත් වෙන්න ඕනෑ. එහෙම වුණොත් ඒක සාමාන්‍ය මිලකට වෙළඳපොළට නිකුත්කරන්න පුළුවන්. ඒහෙම නැත්තං මේ වගේ එකක් මිනිසුන් අතරේ නොමිලේ බෙදාහරින්න හරි පුළුවන්.

ඔබ කිව්වා වගේ මාලදිවයින වගේ රටක් ගත්තාම ඒ අයගේ ප්‍රධාන ආදායම් සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය. ඒ රටේ පාලකයන්ට තමන්ගේ ආර්ථිකය ගැන පැහැදිලි තක්සේරුවක් තියෙනවා. අදහසක් තියෙනවා. අපි කළේ කිසිදු පරීක්ෂා කිරීමක් නැතිව යුක්රේනය වගේ රටවල පිරිස ලංකාවට ගෙන්වීම. ඒ රටේ මිනිසුන්ට එන්නත් ලබාදෙන්නෙත් නැතිව. එහෙම බලද්දි අපිට වෛරසය නිවැරදිව පාලනය කරගන්න බැරිවුණා වගේම ගුවන්තොටුපළ පාලනය කරගන්නත් බැරි වුණා.

රජය එක පැත්තකින් සල්ලි අච්චු ගහනවා. තෙල් මිල ඉහළ යනවා වගේ කාරණාවලදී රජය පෙන්නා දෙන්නේ රටේ විදේශ විනිමය නෑ කියලා?

යහපාලන ආණ්ඩුව තියෙද්දි ඒ අය තෙල් මිල සූත්‍රයක් පාවිච්චි කළා. තෙල් මිල ඒ වගේ සූත්‍රයකින් පාලනය කරද්දි වුණේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තුළ මාසයක් හෝ දෙකක් තුළ සිදුවන උච්චාවචනයන් රටේ පවතින මිලත් එක්ක ගළපන එක. නමුත් මේ රජය ආපු ගමන් කළේ ඒ මිල සූත්‍රය සම්පූර්ණයෙන් අයින් කරන එක. නමුත් ඒ අයට කරන්න තිබුණේ මිල සූත්‍රයේ යම් යම් අඩුපාඩු තිබ්බා නම් ඒවා නිවැරදි කරලා ඒක ක්‍රමවත් කරන එක.

2020 පෙබරවාරි ඉඳන් අප්‍රේල් මාසයේ අග වන තුරු ලෝක වෙළඳපොළේ තෙල් මිල සෑහෙන දුරට පහළට ආවා. 2020 ජනවාරි මාසයේ අපි බොරතෙල් බැරලයක් ගත්තේ ඇමරිකානු ඩොලර් 68කට. අප්‍රේල් මාසෙ තුන්වන සතිය වන විට ඒක ඇමරිකානු ඩොලර් 19.33 දක්වා අඩු වුණා. නමුත් මේ කාලය තුළ රජය තෙල් මිල අඩු කළේ නෑ. ඒ වෙනුවට කිව්වේ මේ මිල එහෙමම තියාගෙන ඒ එන ලාභය අරමුදලකට බැරකරලා අනාගතයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියත් රටේ තෙල් මිල ඉහළ නොදමා පවත්වාගෙන යෑම සඳහා ඒ අරමුදල භාවිත කරනවා කියලා. මේ අවුරුද්දේ පෙබරවාරි විතර වෙනකොට ආපහු තෙල් මිල 2020 ජනවාරි තිබුණු ගාණට වගේ ආවා. මේ වෙලාවේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ තියෙන්නෙත් ඊට සමාන වටිනාකමක. ඒ අනුව මගේ මතය නම් රජයට තෙල් මිල වැඩි නොකර තවදුරටත් පැවති මිලට ලබා දෙන්න පුළුවන්කම තිබුණා කියන එක.
ඒ වගේම රජය කියනවා තෙල්වලින් ගත් අමතර ලාභයෙන් ගොඩනැගූ බදු අරමුදල දැන් නෑ කියලා. වෙනත් කාරණයක් සඳහා ජනතාවගෙන් ගත් බදු මුදලක් විදුලිබල මණ්ඩලේ පාඩු පියවන්න හරි වෙන ඕනෑම අතිරේක වැඩකට ගන්න හරි යොදවපු එක වැරදියි. අපි හිතමුකෝ රාජ්‍ය ආයතනයක යම් කිසි දේකට වෙන් කරපු මුදලක් වෙනත් කාර්යයක් සඳහා යෙදෙව්වොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් ඒ නිලධාරීන්ට විගණනය කරලා, විනය පරීක්ෂණ තියලා, නඩු පවරලා සියලුම දේ කරනවා. එහෙනම් රජය රටේ මූල්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා ඒ දේම කරද්දි ඒකෙ කිසි ගැටලුවක් නැතිවෙන්න බෑනෙ.

ඩොලර් ප්‍රශ්නය විසඳගන්න තෙල් මිල වැඩි කරනවා කියන එක සම්පූර්ණ බොරුවක්. පාඩුවක් නැතිව පැවති මිලටම තෙල් ලබාදීමේ හැකියාව තියෙද්දී තෙල් මිල ඉහළ දැමීමෙන් වාසි සිදුවුණේ ඉන්දියානු තෙල් සමාගම වගේ දේවලට. අපි ඛනිජතෙල් මිල ඉහළ දැම්මා කියලා මේ රටේ භාවිත වන ඛනිජ තෙල් ප්‍රමාණය අඩුවෙන්නේ නෑ. රටේ තෙල් පරිභෝජනය සාමාන්‍ය පරිදිම තියෙනවා නම් අපිට ඩොලර්ස් ඉතිරි කරගන්න බෑ.

අනික් කරුණ තමයි රජය කිව්වේ තෙල් මිල වැඩි කරන්න මහබැංකුව නිර්දේශ කළා කියලා. අපි දන්නවා, ඔබ කිව්වා වගේ මහබැංකුව පහුගිය මාසෙ වෙනකම්ම රජයට සල්ලි දුන්නේ මුදල් අච්චු ගහලා. මිනිස්සුන්ට පන්දාහ ගෙවන එකයි පඩි ගෙවන එකයි ඔක්කොම කළේ ඒ මුදල්වලින්. ඒකට හේතුව රජය විශාල බදු ආදායමක් අඩු කරගත්තා 2020 මුල වෙද්දිම. දළ වශයෙන් රුපියල් බිලියන 500ක විතර බදු ආදායමක් ඒ අනුව රජයට අහිමි වුණා. ඒ අනුව රජය කළේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර විදිහට මහ බැංකුවෙන් ණය ගත්තු එක. මහබැංකුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගන්නේ අලුතින් මුදල් මුද්‍රණය කරලා. ඉතිං ඒ මහබැංකුවම දැන් කියනවා තෙල් මිල වැඩි කළේ නැත්තං රටේ උද්ධමනයක් ඇතිවෙලා මූල්‍ය අස්ථාවරත්වයක් ඇතිවෙනවා කියලා. නමුත් ඒ වෙනකං මහ බැංකු අධිපතිවරයා හා මහබැංකුව කිව්වේ මුදල් මුද්‍රණය හරහා උද්ධමනය ඇතිවෙන්නේ නෑ කියලා.

විදේශ විනිමය ගැන කියද්දී, අපි දන්නවා 2019 දෙසැම්බර් විතර වනකොට ඩොලර් මිලියන පන්දාස් නවසිය ගාණක විදේශ විනිමය සංචිත තිබුණා. නමුත් ඒක 2021 මැයි විතර වෙනකොට හාරදහස් දහයක් විතර වනකං අඩු වෙලා. ඒක මේ මාසෙ තවත් අඩුවෙයි. ඒ වගේම ඉදිරියේදී ගෙවන්න තියෙන ණය කන්දරාව අනුව තවත් අඩුවෙයි.

රටක් විදේශ විනිමය සංචිත පවත්වාගෙන යන්නේ හදිසි අවස්ථාවකට භාවිතයට ගැනීමට. වෙනත් වචනයකින් කියනවා නම්, අපේ සම්පූර්ණ අපනයන පද්ධතියම වෙනස් වෙලා කිසිම අපනයන ආදායමක් ලැබුණේ නැත්තම්, ඒ වගේ කාලයක අපිට අවශ්‍ය කරන මූලික ආනයන භාණ්ඩ ටික ගෙනඒමට. ඒ අනුව 2019 අවසානය වන විට මාස හතකට අවශ්‍ය ආනයන ගෙනඒමට අපිට තිබුණු සංචිත දැන් තියෙන්නේ මාස තුනහමාරක් හතරක් පමණ යන තුරු ආනයනවලට විතරයි. මේක විශාල අර්බුදයක්.

අපි බංගලාදේශයෙන් පවා ණය ගනිමින් පවතින තත්ත්වයකයි මේ කියන විදිහට විදේශ විනිමය සංචිත අඩු වෙන්නේ. අපි ණය ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙළ හරිද? මේ සංචිත කළමනාකරණය කරගන්නේ කොහොමද?

මේ සංචිත කළමනාකරණය කිරීමට අපි එක පැත්තකින් අපනයන මගින් මුදල් උපයන්න ඕන. එය එක්කෝ භාණ්ඩ අපනයනය කිරීමෙන් හෝ නැතිනම් විදේශ ශ්‍රමිකයින් මගින් කරන්න පුළුවන්. අනික් පැත්තෙන් අපේ කර්මාන්තවලට ඩොලර්වලින් ආයෝජන ලබාදෙන විදේශීය ආයෝජකයන් ගෙන්නගන්න ඕනෑ.

බැරිම අවස්ථාවක් ආවොත් වෙනත් රටවල්වලින් හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හරි ණය ගන්න පුළුවන්. නමුත් එතනදී බුද්ධිමත් වෙන්න ඕනෑ.

දැන් අපේ රජය කියනවා අපි මූල්‍ය අරමුදලින් ණය ගන්නේ නෑ කියලා. මූල්‍ය අරමුදල වගේ ආයතන පිහිටුවන එකේ අරමුණම ආර්ථික වශයෙන් අස්ථාවර වන රටවලට සහනදායී කොන්දේසි මගින් ණය හරි ආධාර හරි ලබාදීලා ඒ මගින් ඒ රටවල් මූල්‍ය අර්බුදයෙන් ගලවාගැනීම. දැන් රජය කියනවා ලෝක බැංකුවෙන්වත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්වත් ණය ගන්නේ නෑ කියලා. ණය ගන්නේ නෑ නෙමෙයි මේ අයට ඒ ආයතනවලට යන්න බැරිකම තියෙන්නේ. මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය වැනි ආයතනවලින් හා වෙනත් බටහිර රටවලින් ණය ගන්න බැරිවෙලා තියෙන්නේ යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවතිය යුතු නිර්ණායක රජයට සම්පූර්ණ කරගන්න බැරි වුණු නිසා. ඒ ආයතනවලින් ඉල්ලා සිටින නිර්ණායක රටකට හානිදායක ඒවා නෙමෙයි. අපි දැක්කා යුරෝපා පාර්ලිමේන්තුව තුළ මේ මෑතක යෝජනාවලියක් සම්මත කරගත්තා ලංකාවට එරෙහිව. නමුත් ඒ කරුණු පවා රටට වැඩදායී ඒවා. ඒ අය කියන්නේ බලෙන් පැහැරගැනීම නතරකරන්න කියලා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා. එහෙම කියද්දි අපි දුමින්ද සිල්වා වගේ අය එළියට දාන එක කරන්නේ.

ණය ගන්න ඒ වගේ ආයතනවලට නොගිහින් ඒ වෙනුවට අපි කරන්නේ, ඔබ කිව්වා වගේ බංගලිදේශය වැනි අපිට වඩා අඩු සංවර්ධන මට්ටමක් තියෙන රටවලිනුත් චීනය වැනි රටවලිනුත් ණය ගන්න එක. ඒ වුණාට බොහෝවිට අපිට ඒ ණය මුදල ඩොලර් විදිහට ලැබෙන්නෙත් නෑ. දෙන ටිකත් දෙන්නේ එක්කෝ ණය කපාගෙන. දැන් උදාහරණයක් විදිහට අපි වැව් හාරන්න චීනයෙන් ණය ගන්නවා කියලා කියමුකෝ එතකොට ඒ ණයේම කොටසක් විදිහට මැෂින් එකත් එනවා. හමුදා නිලධාරීන් ටිකත් එනවා, කම්කරුවෝ ටිකත් එනවා. ඒ අය ඇවිත් වැව හාරලා සමහරවිට වැලි ට්කත් අරගෙන මැණික් වගේ ඛණිජ සම්පත් තිබ්බොත් ඒවත් අරගෙන යයි. අපිට ඩොලර් විදිහට ඒ මුදල් ලැබෙන්නේ නෑ. නමුත් මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් ලබාගන්න ණයවල පොලිය සහනදායී වනවා විතරක් නෙමෙයි ඒවා සම්පූර්ණයෙන්ම ඩොලර් විදිහටයි ලැබෙන්නේ. චීනෙන් වගේ රටවලින් ණය ගත්තාම සිදුවෙන්නේ අපේ ණය පොතේ ණය වැඩි වනවා විතරයි. විදේශ විනිමට ගැටලුවට හරි විකල්පයක් ලැබෙන්නේ නෑ. ආඩම්බරකාර ජාතියක් ගොඩනගන්න ආපු රජයක් බංගලිදේශයෙනුත් ණය ගන්න මට්ටමට වැටීම ඛේදනීයයි.

– anidda

Exit mobile version