Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගරය පනතට එරෙහිව මුරුත්තෙට්ටුවේ හිමි සහ විජයදාස රාජපක්ෂ

කොළඹ වරාය නගරය පනතට එරෙහිව මුරුත්තෙට්ටුවේ හිමි සහ විජයදාස රාජපක්ෂ

කොළඹ වරාය නගරය පනතට එරෙහිව මුරුත්තෙට්ටුවේ හිමි සහ විජයදාස රාජපක්ෂ

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත සම්මත වුවහොත් වරාය නගරය ශ්‍රී ලංකාවේ පාලනයෙන් ගිලිහී චීන කොලනියක් බවට පත් වන බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අනතුරු අඟවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, (15) පස්වරුවේ අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඇති විය හැකි භයානක තත්ත්වය පිළිබඳව එහිදී විජයදාස රාජපක්ෂ මහතා පැහැදිලි කළේ මෙසේය.

“අද රටක් විදිහට අපි ඉතාමත් ම භයානක තත්ත්වයකට තල්ලු වෙලා ඉන්නවා. පසුගිය කාලයේ මේ රට හදන්න ආපු පාලකයො මේ රට ණය උගුලකට හිර කළා. අද සෞඛ්‍යය යන්නෙ අයාලේ. දැන් නිල වශයෙන් අපේ රට බංකොලොත් තත්ත්වයට පත්වෙන්න ඔන්න මෙන්න කියල ආසන්නයි.

කොළඹ වරාය නගරය හම්බන්තොට වරායට වැඩිය භායානක දෙයක්. හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ ගිවිසුමක් හරහා වික්කා. දැන් එතකොට මේ ආණ්ඩුව මේ වරාය නගරය ගිවිසුමක් මගින් නෙවේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ල ඒ පනත හරහා චීනෙට පවරලා දෙන්න යනව.

අපේ රට මොකක් ද කියල අඳුන්නා දීපු සිතියමක් තියෙනවා. ඒ සිතියම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අර්ථ නිරූපණය කරල තියෙනවා උප‌ලේඛනයක් හැටියට. අපේ රට කියන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සහ ඒ අවට තියෙන මුහුදු තීරය. ජල තීරය. දැන් අපේ ජල තීරයෙන් හෙක්ටයාර් 446ක් අඩු වුණා. ඒ කියන්නෙ අක්කර 1100ට වැඩි ප්‍රමාණයක් අඩු වුණා. ඒ ටික ගොඩ බිමක් වුණා. එතකොට ඒ ගොඩබිම අපේ රටේ කොටසක් විය යුතුයි. ඒකට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපලේඛනය සංශෝධනය විය යුතුයි.

ඒ අක්කර 1100 මේ පනත අනුව ලංකාවට අයිති නෑ. මේ පනත අනුව ඒක කොළඹ මහ නගර සභාවට අයිති නෑ. මහ නගර සභාවේ පාලනයෙන් තොරයි. ඒක බස්නාහිර පළාතට අයිති නෑ. කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. ඒ හැම එකකින් ම මේක ඉවත් කරල තියෙනවා. ඉවත් කරල කොමිසමක් මගින් පාලනය කරන්න කියල මේ පනතින් කොමිසමක් හදන්න යන්නෙ. ඒ කොමිසම ක්‍රියා කරන්නෙ ඒකට ආයෝජකයා කියන ඒ චීන සමාගමේ අවශ්‍යතා සපුර ගන්න.

දේශීය ආදායම් පනත ඇතුළු මේ රටේ බදු අය කර ගැනීම සඳහා තිබෙන්නෙ පනත් 14යි. ඒ පනත් 14න් ම මේ කොටස මුදා හැරලා. අපිට සත 5ක් වත් බදු ගන්න බෑ. ඒක අපිට අයිති නෑ. ඒක චීන දේශයේ කොලනියක් පමණයි.”

මේ අතර, මෙම මාධ්‍ය හමුව ඇමතූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු ඇඟවීමක් ද කළේය.

ගෝඨාභය මහත්මාගේ සෞභාග්‍යවත් සැලැස්ම ක්‍රියාත්මක කරන්න දිවි දුන්නා වගේ ම තමයි විනාශකාරී යුගයක් ආවොත් ඒ පැත්තටත් කටයුතු කරන්නෙ ජනතාව කියන එක පාලකයෝ තේරුම් ගත යුතුයි.

ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් කරනවට අපි එකඟ වෙන්නෙ නෑ. අපි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. මේ කෙටුම්පත නිසා මේ රටේ සිතියම පවා වෙනස් වෙනවා. බස්නාහිර පළාතේ සිතියමත් මේකට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒකත් වෙනස් වෙන තත්ත්වෙකට ඇවිල්ල තියෙන්නෙ. අද හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නෙ එළියේ කියන සම්ප්‍රදායට තමයි ඉදිරියෙදි කටයුතු කරන්න වෙනවා ඇත්තේ.

අපි නඩු දැම්මෙ ආණ්ඩුවක් එලවලා තව ආණ්ඩුවක් ගේන්න නෙවෙයි. රට ආරක්ෂා කර ගන්න. රට රැක ගන්න. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි මේ රටේ සම්පත් ආරක්ෂා කරන්න කියලා අපි බොහෝ ම කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කවුරුහරි උපදෙස් දෙන අනුගාමිකයෝ ඉන්නවා නම් කේවට්ටයෝ ඉන්නවා නම් ඔවුන්ගෙනුත් පොඩ්ඩක් පරිස්සම් වෙලා මේ රට රැකල දෙන්න කියන එක තමයි අපේ එක ම ඉල්ලීම.

Exit mobile version