Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාව ලගඳීම

නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාව ලගඳීම

නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාව ලගඳීම

නක්ල්ස් රක්‍ෂිතය ආශ්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ නකල්ස් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල තුළ එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකවකින් පසු රත්නපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වෙළඳපොලේ එනසාල් කිලෝවක සිල්ලර මිල රුපියල් 20,000 ඉක්මවා ඇත. එනසාල් ආනයනය නොකිරිමත් රටතුල එනසාල් නිෂ්පාදනය අඩුවිමත් නිසා මෙසේ මිල 150%කින් පමණ ඉහළ ගොස් තිබේ.

එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත.

මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දි සහන ඉල්ලා සිටියේය. එසේම තමන්ගේ ප්‍රධාන ආර්ථික වැවිල්ලක් වු ගම්මිරිස් සඳහා ද නිසි මිලක් මෙන්ම වැඩි අස්වනු ඇති ප්‍රභේද සහ වගා සහන ඉල්ලා සිටියේය.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.

මීමුරේ අවට ඒ ගම්වැසියන් මීට පෙර එනසාල් වගා කළ සහ අස්වනු නෙලු දැනට නක්ල්ස් රක්‍ෂිතයට අයත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිතවලට ඇතුළු වී එනසාල් අස්වනු නෙලීමටත්, වනාන්තරයට හානි නොවන අන්දමින් එනසාල් වගාව රක්‍ෂිත තුළ සිදුකිරිමටත් එකඟත්වයකට පැමිණි බවද ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා කීවේය.

ඒ සඳහා එනසාල් පැල ලබාදීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකඟවූ බවද සඳහන් කළේය. මේ අවසරය මීමුරේ ජනතාවට මිස වෙනත් ප්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවිමට අවසරයක් නැතිබවද අවධාරණය කළේය. වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලුවන මීමුරේ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කිරිමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකසනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මීමුරේ කයිකාවල විද්‍යාලයේදී සහ මීමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ මීමුරේ ජනතාව හමුවී නව වැඩපිළිවෙල දැනුවත් කළ බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය. මීමුරේ නිෂ්පාදනය කරන ගම්මිරිස් කුළුබඩු සංස්ථාව හරහා ඝෘජුව මිලදී ගැනීමටත් ඒවා මීමුරේ ගම්මිරිස් නමින් වෙළඳපොළට නිකතුත් කිරිමටත් ජනාධිපතවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකරන බවද ඔහු පැවසුවේය. ඒ නිසා වෙනත් ගම්වල ජනතාව මීමුරේට සිය ගම්මිරිස් අස්වැන්න ගෙනවිත් අලෙවි කර මේ වැඩපිළිවෙළ කඩාකප්පල් නොකරන්නැයි ද දැනුම්දුන් බවද කීවේය.

Exit mobile version