Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ BBC මාධ්‍යවේදියකු හඹා යන ‘නාඳුනන පිරිසක්’ ගැන පැමිණිලි

ලංකාවේ BBC මාධ්‍යවේදියකු හඹා යන ‘නාඳුනන පිරිසක්’ ගැන පැමිණිලි

ලංකාවේ BBC මාධ්‍යවේදියකු හඹා යන ‘නාඳුනන පිරිසක්’ ගැන පැමිණිලි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව විසින් කරමින් පවතින සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව දක්වන අදහස් උතුරේ සංචාරය කොට විමසා පල කිරීමත් සමග BBC මාධ්‍යවේදියකු පසුපස ලුහුබඳින සැක කටයුතු පිරිසක් දෙදිනක්ම ඔහු සොයා ගොස් තිබේ.

රක්වාන ප්‍රදේශයේ පිහිටි තම නිවසට මාර්තු 1 දා පැමිණි නාදුනන පිරිස තමන් උතුරේ සිදුකළ සංචාරය පිළිබදව ගම් වාසීන්ගෙන් ප්‍රශ්න කොට ඇති බව BBC දෙමළ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ වාර්තාකාර රංජන් අරුන් ප්‍රසාද් පවසයි.

ඉන් අනතුරුව මාර්තු 2 දිනයේ නුවර ප්‍රදේශයේ පිහිටි මාධ්‍යවේදියා රැදී සිටි නෑදෑ නිවසකට ජංගම දුරකතන ජාල සමීක්ෂණයක් සදහා පැමිණි බව පැවසූ දෙදෙනකු දුරකතන අංකය විමසීමෙන් අනතුරුව ඔහුගේ රැකියාව, ඔහුට වැටුප් ලැබෙන්නේ ඩොලර් වලින්ද යන්නත් ප්‍රශ්න කර තිබේ.

මාර්තු 3 බදාදා පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් මාධ්‍යවේදියා පවසා ඇත්තේ නාදුනන පිරිසක් විසින් තමන්ගේ තොරතුරු රැස්කරමින් සිටින අතර ඔවුන් කවුරුන්ද යන්නත්, තමන් සම්බන්ධයෙන් විස්තර එක් රැස් කරන්නේ කුමන කරුනක් උදෙසාද යන්නත් දැනගැනීමට අවශ්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ මේ දිනවල සංවාදයට ලක්වන උතුරේ ජනතාව මතුකරන ප්‍රශ්න අනාවරණය කර ගැනීම සඳහා BBC මාධ්‍යවේදියා පෙබරවාරි මස 22 දින සිට 27 දින දක්වා උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක සංචාරය කර තිබේ.

එම තොරතුරු ආශ්‍රයෙන් ඔහු විසින් වාර්තාකරන ලද දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටළු BBC ආයතනය විසින් පළවීමෙන් අනතුරුව නාඳුනන කණ්ඩායමක් ගම් පලාතට පැමිණ තොරතුරු විමසීම නිසා ගම්වාසීන්ට තමන් අපරාධකරුවකු ලෙස පෙනී යනු ඇතැයි අරුන් ප්‍රසාද් දැඩි මානසික පීඩාවකට පත්ව සිටී.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාධාරීන් සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලී යාම සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවට දැනුම් දී තිබුණි.

– the leader

Exit mobile version