Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිවාස ඒකක 51,884ක් ඉදි කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස්

තවත් ජනපති කාර්ය සාධක බළකායක්: දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම අරමුණ වේ

තවත් ජනපති කාර්ය සාධක බළකායක්: දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම අරමුණ වේ

මධ්‍යම පාන්තිකයන් සහ අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සැපිරීම සඳහා නිවාස ඒකක 51,884ක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතනවල නිලධාරීන් සමඟ පෙරේදා (11) පැවැති සාකච්ඡාවේදී උපදෙස් දුන්නේය.

ඉදිරි තෙවසර තුළ මධ්‍යම පාන්තිකයන් උදෙසා ඉදි කිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 15,000කි. අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී නිවාස ඒකක 36,884ක් ඉදි කිරීමට රජය අපේක්ෂා කරයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් නිර්මාණශීලි ලෙස සහ පරිසරය සුරැකෙන අයුරින් ඉදි කිරීම් කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්, කොට්ටාව – මාකුඹුර, කොට්ටාව -පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසේ. විධායක, ව්‍යවසායක සහ සියලු ක්ෂේත්‍රවල නිරත විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනේ.

ඉදි කිරීම් ඇරඹීමත් සමග ඊට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් නොනැවති සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක විය යුතුය. මේ ව්‍යාපෘති රටේ ආර්ථිකයට ද ශක්තියත් වනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂාව පළ කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු, නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහූ සහ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version