Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බිඳවැටුණු ව්‍යාපාර යළි බලගන්වන්න කෝටි 17500ක් අනුමතයි

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

සෞභාග්‍යා කොවිඩ් – 19 පුනරුද ණය යෝජනා ක්‍රමයේ 1, 2, 3 අදියර යටතේ රුපියල් කෝටි 15000ක ණය මුදලක් ලබාදීමට ඇස්තමේන්තු කර තිබුණ ද මේ වන විට එම මුදලත් අබිබවා රුපියල් කෝටි 17500ක මුදලක් ලබාදීමට මහ බැංකුව අනුමත කොට තිබේ.

මෙලෙස බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ණය මුදල් ප්‍රමාණයක් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීමට ලබාදීමට බැංකු පද්ධතිය සූදානම් බව ද මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට රුපියල් කෝටි 11200ක මුදලක් ණය වශයෙන් ව්‍යවසායකයන්ට ලබා දී ඇතැයි ඔහු කීය.

ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා, 4% කාරක ප්‍රාග්ධන ණය ලෙස අඩපණ වූ ව්‍යාපාරවලට නැවත නැඟී සිටීමට අත දීමක් ලෙස සැප්තැම්බර් 30 වැනි දක්වා අප ණය ඉල්ලුම්පත් අනුමත කළා. රුපියල් බිලියන 50 කින් ණය මුදල් ලබාදීමට මුලින් සැලසුම් කළ අතර පසුව එය රුපියල් බිලියන 150 ක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එම ප්‍රමාණය ද අභිබවා මේ වන විට රුපියල් බිලියන 175ක ණය මුදල් අනුමතකර තිබෙන බව ද ධර්මවර්ධන මහතා කීය.

මෙම ණය මුදල් යොදාගෙන ව්‍යාපාර යළි බලගැන්වීම යටතේ සේවක පඩිනඩි ගෙවීම්, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල්, ජල බිල්, විදුලි බිල්, ගොඩනැඟිලි සඳහා වන කුලී ගෙවීම් ඇතුළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට ව්‍යාපාරිකයින්ට අත දීමක් සිදුවනු ඇත. එලෙස අතදීම තුළින් පසුගිය මාර්තු – අප්‍රේල් කාලයේ දැඩිව පීඩාවට පත්වූ ව්‍යාපාරිකයින්ට සහනයක් සැලසෙනු ඇත.

මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු 29 ක් මඟින් මෙම ණය මුදල් ලබාදීම සිදුවේ. කෘෂිකර්ම, කර්මාන්ත, සේවා යන මූලික ආර්ථික ක්‍රියාවලීන් ආවරණය කරන ක්ෂේත්‍ර රාශියක ක්ෂූද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි බලගැන්වීමට මෙම මුදල් ලබාදීම තුළින් සිදුකිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබේ. ඒ අනුව කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත, සත්ත්ව පාලනය, ධීවර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ප්‍රවාහන, ඇඟලුම්, ඉදිකිරීම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, සන්නිවේදන, තොරතුරු තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියැළී සිටි පිරිසට සෙත සැලසෙන ලෙස මෙම ණය මුදල් ලබා දී ඇත. ණය ආපසු ගෙවීමේ කාලය මාස 24 කි. ණය මුදල් ලබාගත් දින සිට මාස 6 ක් ගතවූ පසු ණය මුදල් නැවත ආපසු ගෙවීමට පහසුකම් සපයා තිබීම මෙහි ඇති විශේෂත්වය බව ධර්මවර්ධන මහතා සඳහන් කළේය.

මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර බලගැන්වීමට ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම ලෙසද, පොලී සහනාධාර සහ ඇප ආවරණ ණය යෝජනා ක්‍රම ලෙස ද ගනුදෙනුකරුවන්ට සහන ලබා දී ඇත.

Exit mobile version