Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා – තුර්කි සබඳතා තවත් ශක්තිමත් කිරීමට නව සාකච්ඡා!

*ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව අවස්ථා පිළිබඳ සාකච්ඡා*

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති අතිගරු සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා සමඟ අද දින ඵලදායී සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෑතකාලීන තුර්කි සංචාරය තුළින් ක්ෂේත්‍ර හයකට අදාළව ඉහළ පෙළේ දේශපාලන සබඳතා යළි සක්‍රීය කිරීමට ලැබුණු ප්‍රගතිය පදනම් කර ගනිමින්, එම සංචාරය අතරතුර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් දෙක ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, දැනට අවසන් කිරීමට නියමිතව පවතින අනෙකුත් ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ද දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ.

ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන්, ගෝලීය වෙළෙඳපොළේ වෙනස්වන තත්ත්වයන් මධ්‍යයේ තුර්කිය වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ තේ අපනයනයේ මෑතකාලීන වර්ධනය පිළිබඳව දෙපාර්ශ්වය සමාලෝචනය කළහ. දෙරට අතර වෙළෙඳාම විවිධාංගීකරණය කිරීමේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර අතර හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

දෙරට අතර ප්‍රවාහන සම්බන්ධතා සහ සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් සේවා හඳුන්වා දීම සඳහා තුර්කි ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමේ හැකියාව ද මෙහිදී අවධානයට ලක් විය.

එමෙන්ම, සංස්කෘතික සංචාරක කර්මාන්තය සහ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා පවතින සැලකිය යුතු විභවතාව පිළිබඳව ද දෙපාර්ශ්වය අවධාරණය කළහ.

Exit mobile version