Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අකුරණ බහු-වාහන රිය අනතුරින් මියගිය සිව්දෙනා අතර 16 හැවිරිදි පාසල් තරුණියක්

​මහනුවර-මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය අසලදී සිමෙන්ති අනන (cement mixer) ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ඇත.
​අලවතුගොඩ සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ වාහන කිහිපයක ගැටී පෙරළී යාමෙන් ඊයේ (19) අකුරණ 7 වන සැපත කණුව අසල කුරුගොඩ හන්දියේදී මෙම අනතුර සිදුව තිබේ.
​අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් හය දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් මේ වන විට මහනුවර සහ අකුරණ රෝහල්වල ප්‍රතිකාර ලබති.
​මෙසේ මියගොස් ඇත්තේ අලවතුගොඩ සහ අකුරණ ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 38 සහ 51 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ මාතලේ සහ අකුරණ ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 16 සහ 28 වයස්වල පසුවන යෞවනියන් දෙදෙනෙකි.
​මහනුවර රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, මෘත ශරීර ඥාතීන් වෙත භාර දී ඇත.
​අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති අනන ලොරි රථයේ පැදවූ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (20) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
​සිදුවීම සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version