Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයට එරෙහිව අමෙරිකාවේ බලවත්ම MOAB බෝම්බය හෙළීමට සැලසුම්!

ඉරානය සමඟ යළිත් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළහොත්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අමෙරිකාවේ ප්‍රබලතම සාම්ප්‍රදායික බෝම්බයක් වන Mother of All Bombs භාවිත කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාව අවධානය යොමු කර තිබේ.

අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවය මේ බව වාර්තා කළා.

ඒ අනුව, අමෙරිකානු ජනාධිපතිවරයා යළි යුද මෙහෙයුම් ආරම්භ කිරීමට නියෝග කළහොත්, නොවැම්බර් මධ්‍ය කාලීන මැතිවරණයට පෙර හෝ ඉන් පසුව මෙම බෝම්බය යොදාගැනීමේ හැකියාව සලකා බැලෙන බවයි වාර්තා වන්නේ.

GBU-43/B Massive Ordnance Air Blast (MOAB) ලෙස හැඳින්වෙන මෙම බෝම්බය අමෙරිකානු අවි ගබඩාවේ ඇති විශාලතම න්‍යෂ්ටික නොවන බෝම්බය ලෙස සැලකෙයි.

ඉරානය සමඟ පවතින යුද්ධයේදී මෙම බෝම්බය පළමු වරට භාවිත කිරීම යුද ගැටුමේ තීව්‍රතාව තවදුරටත් ඉහළ නංවන පියවරක් වනු ඇති බවට විශ්ලේෂණය කර තිබේ.

කෙසේ වෙතත්, එම බෝම්බය භාවිත කිරීමෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති උපායමාර්ගික අරමුණු ඉටුකරගත හැකිද, නැතහොත් යුද්ධයේ බල තුලනය වෙනස් කළ හැකිද යන්න පිළිබඳව සැක මතු වී ඇති බවද අමෙරිකානු හමුදා සැලසුම් පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර, මාස හයකට වැඩි කාලයක් අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණද, දෙරට අතර සාකච්ඡාමය විසඳුමක් සඳහා සමීප වීමේ පැහැදිලි ලකුණු නොමැති බවයි CNN වාර්තාවේ දැක්වෙන්නේ.

යුද්ධය අවසන් කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාට දේශපාලනික පීඩනයක් එල්ල වෙමින් පවතින අතර, ඉදිරි මධ්‍ය කාලීන මැතිවරණයේදී ඡන්දදායකයන්ගෙන් එල්ල විය හැකි ප්‍රතිචාර පිළිබඳවද රිපබ්ලිකන් පක්ෂය අවධානයෙන් පසුවන බව සඳහන්.

ඒ අතරතුර, ඉරානයේ ඉලක්ක වෙත එල්ල කළ හැකි ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාව ජනාධිපතිවරයා වෙත විකල්ප ඉදිරිපත් කරමින් සිටිනවා.

එහෙත් එම ප්‍රහාර සැලසුම් යුද්ධය අවසන් කිරීමේ පැහැදිලි උපායමාර්ගයක කොටසක්ද යන්න පිළිබඳව අමෙරිකානු නිලධාරීන් අතර පෞද්ගලික මට්ටමින් ප්‍රශ්න මතුව ඇති බව CNN පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

Exit mobile version