බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්(Imran Khan) නිදහස් කරන ලෙස බල කරමින් ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් අගනුවර වන ඉස්ලාමාබාද් (Islamabad) වෙත විරෝධතා පාගමනින් ගමන් කරමින් සිටිති.
73 හැවිරිදි හිටපු අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවතින කනස්සල්ල පසුගිය මාස කිහිපය තුළ තවදුරටත් දැඩි වී ඇත. බන්ධනාගාර බලධාරීන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුගේ දකුණු ඇසෙහි පෙනීම බොහොමයක් අහිමි වී ඇති බව ඔහුගේ පවුලේ අය චෝදනා කරති.
නඩු 100කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දී සිටින මෙම ක්‍රිකට් තරුවකගෙන් දේශපාලනඥයෙකු බවට පත්වූ නායකයාට, පසුගිය වසරේදී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14ක සිරදඬුවමක් නියම විය. තමන්ට එරෙහි සියලුම නඩු දේශපාලන පළිගැනීම් මත පදනම් වූ ඒවා බව ඉම්රාන් ඛාන් පවසයි.
සිරගත කර සිටියද, ඔහු තවමත් පාකිස්තාන දේශපාලනය තුළ ප්‍රබල බලපෑමක් පවත්වාගෙන යන අතර, ඔහුට සහය පළ කරමින් පැවැති විරෝධතාවලදී මීට පෙර පවා දරුණු ප්‍රචණ්ඩත්වයන් සහ බලධාරීන්ගේ මර්දනයන් වාර්තා විය.
ඉස්ලාමාබාද් නුවර සිට කිලෝමීටර් 275ක් (km) දුරින් පිහිටි ලක්කි මාවට් (Lakki Marwat) නගරයෙන් ඉරිදා ආරම්භ වූ මෙම පාගමන, රාත්‍රී කාලයේ නවත්වා තිබූ අතර සඳුදා දහවල් කාලයේදී නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
මුලින් පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම පාගමන, රජය සහ ඉම්රාන් ඛාන්ගෙ පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය අතර සාකච්ඡා සඳහා ඉඩ ලබාදීම පිණිස කල් දමන ලද නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අසාර්ථක විය.
2023 අගෝස්තු මාසයේදී සිරගත කරන ලද ඉම්‍රාන් ఖාන්, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිට රාජ්‍ය තෑගි අලෙවි කිරීම දක්වා වන නඩු 100කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දී සිටින අතර, ඒ සියල්ල දේශපාලන අරමුණින් සිදු කළ ඒවා බව ඔහු ප්‍රකාශ කර ඇත.
PTI පක්ෂය මගින් පාලනය වන කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) පළාතේ මහ ඇමති සොහේල් අෆ්රිඩි (Sohail Afridi) බලාපොරොත්තු වන්නේ, බ්‍රහස්පතින්දා වන විට මෙම පාගමන ඉස්ලාමාබාද් නුවරට බටහිරින් කිලෝමීටර් 80ක් (සැතපුම් 50ක්) පමණ දුරින් පිහිටි නගරයක් වෙත ළඟා වනු ඇති බවයි.
”[එම කාලය වන විට] මෙම ව්‍යාපාරය රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ළඟා වනු ඇති අතර සෑම හන්දියක්ම සක්‍රීය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත,” යැයි පැවසූ ඔහු, දේශපාලන ක්‍රියාවලිය තුළ සක්‍රීය භූමිකාවක් ඉටු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඉස්ලාමාබාද් නුවර බලධාරීන් අගනුවරට ඇතුළු වන ප්‍රධාන මාර්ග අගුලු දැමීම සඳහා කන්ටේනර් (Shipping containers) ගොඩගසා තබා ඇත.
රජය සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූයේ, ජාතික සහ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් න් උපදෙස් ලබාගැනීම සඳහා පක්ෂ නායකයින්ට ඔහු හමුවීමට බලධාරීන් අවසර නොදීම හේතුවෙන් බව PTI පක්ෂය පැවසීය.
එසේම ඉම්රාන් ඛාන් හට වහාම වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි බව ද එම පක්ෂය සඳහන් කළේය.
මේ අතර, පාකිස්තානයේ දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ස්වදේශ කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි (Mohsin Naqvi) චෝදනා කළේ, කයිබර් පක්තුන්ක්වා රජය ත්‍රස්තවාදයට එරෙහි කරුණු සම්බන්ධයෙන් වූ පූර්ව එකඟතාවලින් පසුබැස ඇති බව පවසමින්, සාකච්ඡා කඩාකප්පල් කිරීමට අෆ්රිඩි කටයුතු කරන බවයි.
අගෝස්තු මාසයේදී, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම පිළිබඳ පැමිණිලිවලින් පසුව, වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රජයේ රෝහලක් වෙත කෙටි කාලයකට මාරු කරන ලදී. පසුව වෛද්‍යවරුන් විසින් ඔහු “වෛද්‍යමය වශයෙන් සුදුසු” බව තීරණය කරන ලදී.
2023 දී දූෂණ චෝදනා මත සිරගත කළ තැන් සිට අධිකරණයෙන් ඉම්රාන් ඛාන් වෙත හිමිවූ වැදගත්ම සහනය මෙය විය.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් විශේෂිත පෞද්ගලික රෝහලක වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කළ යුතු බවට වූ අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය සහ PTI පක්ෂය බලධාරීන් විවේචනය කළහ.
සැප්තැම්බර් 20 වන දින, ඉම්රාන් ඛාන් ගේ සොහොයුරිය වන අලීමා ඛානුම් (Aleema Khanum) නැගෙනහිර ලාහෝර් (Lahore) නගරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගැනීමේ නියෝගයේ සඳහන් වූයේ, ඛානුම් විසින් “නීතිය හා සාමය කඩවන තත්ත්වයන් නිර්මාණය කිරීමට” සහ “රජයට එරෙහිව මහජනතාව අතර විරෝධතා පාඨ කියමින්” ජනතාව ඒකරාශී කරමින් සිටි බවයි.
පෙරදී පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඉම්රාන් ඛාන්, 2018 සිට 2022 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඔහු සිරගත කිරීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විශාල වශයෙන් විරෝධතාවල නිරත වූ අතර, ඒවාට බලධාරීන්ගෙන් මර්දනයක් එල්ල විය.
ඉම්රාන් ඛාන් හට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් කිහිප දෙනෙකු ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් (Shehbaz Sharif) ඉල්ලීම් කර ඇත.
මූලාශ්‍රය: BBC

