නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කටාර් රාජ්‍යයේ සැප්තැම්බර් 20 සිට 23 දක්වා සිදු කෙරෙන නිල සංචාරය අතරතුර,ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කටාර් රාජ්‍යයේ කම්කරු අමාත්‍ය අතිගරු ආචාර්ය අලි බින් සයීඩ් බින් සමීක් අල් මාරි මහතා (H.E. Dr. Ali bin Saeed bin Smeikh Al Marri) සමඟ අද (21) දෝහාහිදී සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීමේ අවස්ථාවක පැවති මෙම සාකච්ඡාවේදී, පුහුණු හා වෘත්තීයමය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම, ශ්‍රමික සුබසාධනය හා ආරක්ෂාව ශක්තිමත් කිරීම, විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම වැඩිදියුණු කිරීම සහ දෙරටේ අදාළ ආයතන අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 140,000කට ආසන්න පිරිසක් සේවය කරන බැවින්, කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් අංශයක් බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
වසර කිහිපයක විරාමයකින් අනතුරුව යළි කැඳවා ඇති ශ්‍රී ලංකා–කටාර් ඒකාබද්ධ කමිටු රැස්වීමේ වැදගත්කම ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළ අතර, දෙරට අතර සිදු කෙරෙන සාකච්ඡා ශ්‍රමිකයන් සහ සේවා යෝජකයන් සඳහා සෘජු ප්‍රතිලාභ ලබාදෙන ක්‍රියාමාර්ග බවට පත් කිරීම සඳහා මෙම ඒකාබද්ධ කමිටුව වැදගත් වේදිකාවක් වනු ඇති බව සඳහන් කළේය.
එමෙන්ම, නිපුණතා සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලාංකිකයන් සඳහා නිපුණතා මත පදනම් වූ හා ඉහළ වටිනාකමකින් යුතු රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු සිතාරා ඛාන් මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝ ද මෙම හමුවට එක්වූහ.

