යෝජිත අල්ලස් විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයට
කොළඹ: පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති යෝජිත “අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන)” පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් අල්ලස් විරෝධී ආරක්ෂක විධිවිධාන ලිහිල් වන බවත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පවසමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
පසුගිය අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත මගින් 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී ප්‍රධාන පනත සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ. මහජන සුභසිද්ධිය උදෙසා TISL ආයතනය විසින් මෙම පෙත්සම අගෝස්තු 31 වැනිදා ගොනු කර ඇත.
2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී ප්‍රධාන පනත යනු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ අල්ලස් විරෝධී නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා ගෙන ආ වැදගත් ප්‍රතිසංස්කරණයකි. කෙසේ වෙතත්, දැනට යෝජනා කර ඇති සංශෝධන මගින් පවතින නීතිමය ආරක්ෂාවන් ආපසු හැරවීමක් සිදුවන බවත්, දූෂණ විරෝධී ක්‍රියාවලිය දුර්වල කරන නීතිමය හිඩැස් නිර්මාණය වන බවත් TISL ආයතනය පෙන්වා දෙයි.
TISL ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති ප්‍රධාන වගන්ති පහත පරිදි වේ:
1. 4 වන වගන්තිය – සාක්ෂිකරුවන්ට නඩු නොපැවරීමේ තීරණවලින් අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම
ප්‍රධාන පනතේ 70 වන වගන්තිය සංශෝධනය කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, අදාළ දූෂණය පිළිබඳ තොරතුරු ලබාගැනීම වෙනුවෙන් වරදට හවුල් වූ තැනැත්තන්ට නඩු නොපැවරීමට තීරණය කිරීමේ සම්පූර්ණ බලය පැවරීමට යෝජනා කර ඇත. මෙහිදී මහේස්ත්‍රාත්වරයෙකුගේ පූර්ව අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර තිබීම නිසා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දේශපාලන බලපෑම්, බාහිර තර්ජන සහ අනිසි භාවිතයන්ට ලක්වීමේ දැඩි අවදානමක් මතුවන බව TISL පෙන්වා දෙයි.
2. 6 සහ 18 වන වගන්ති – රාජ්‍ය කොටස් හිමිකාරීත්ව සීමාව 50% දක්වා ඉහළ නැංවීම
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් නියම කිරීමේදී රජයේ හෝ රාජ්‍ය සංස්ථාවල කොටස් හිමිකාරීත්ව සීමාව 25% සිට 50% දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. මේ හේතුවෙන් රජයේ කොටස් 50% ට වඩා අඩුවෙන් පවතින, නමුත් විශාල මහජන මුදල් හා කොන්ත්‍රාත් පාලනය කරන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වත්කම් ප්‍රකාශ කිරීමෙන් නිදහස් වේ. මෙය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතේ 25% සීමාව සමඟ ද ගැටේ.
3. 7 වන වගන්තිය – එකට ජීවත්වන තැනැත්තන් (Cohabitants) වත්කම් ප්‍රකාශනයෙන් නිදහස් කිරීම
ප්‍රධාන පනතේ 81(e) වගන්තිය අහෝසි කිරීම මගින්, රාජ්‍ය නිලධාරියෙකු සමඟ අවම වශයෙන් මාස 6 ක් එකට ජීවත්වන තැනැත්තන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ඉවත් කර ඇත. කිසිදු සාධාරණ හේතුවකින් තොරව මෙම වගන්තිය ඉවත් කිරීම හරහා දූෂිත නිලධාරීන්ට තම නීති විරෝධී වත්කම් විවාහක සහකරු හෝ පරායත්තයන් නොවන වෙනත් තැනැත්තන්ගේ නමින් ලියාපදිංචි කර සැඟවීමට ඉඩ සැලසේ.
4. 11 වන වගන්තිය – තොරතුරු වාරණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා පැමිණවීම
මෙම සංශෝධනය මගින් ප්‍රධාන පනතේ 88 වන වගන්තියට අතිශය හානිකර කරුණු දෙකක් එක් කර ඇත:
පුද්ගලිකත්වයට හානි වන බව කියමින් ඕනෑම තොරතුරක් සංස්කරණය (Redact) කර ඉවත් කිරීමට අල්ලස් කොමිෂන් සභාවට සීමා මායිම් නැති අත්තනෝමතික බලයක් ලබාදීම.
ප්‍රසිද්ධ කරන ලද වත්කම් ප්‍රකාශනයක්, පනතේ 86 වන වගන්තිය යටතේ කෙරෙන නිල පැමිණිල්ලකට හැර වෙනත් කිසිදු කාර්යයකට (උදාහරණ ලෙස මාධ්‍ය වාර්තාකරණය හෝ පර්යේෂණ සඳහා) භාවිත කිරීම වරදක් බවට පත්කිරීම. එම වරද සඳහා රුපියල් 100,000 දක්වා දඩයක්, වසරක් දක්වා සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවිය හැක.
මහජන තොරතුරු භාවිත කිරීම මෙලෙස අපරාධයක් බවට පත්කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍යවේදයට දැඩි බාධාවක් එල්ල වන බව TISL පෙන්වා දෙයි.
5. 149 වන වගන්තිය – ඇප ලබාදීම සීමා කිරීම
පනතේ 149 වන වගන්තිය වෙනස් කරමින්, ඇප ලබාදීම සුවිශේෂී තත්ත්වයක් බවට පත්කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය නීතිය බවට පත්කිරීමට යෝජනා කර ඇත. මෙය ව්‍යවස්ථාපිත මූලධර්මවලට මෙන්ම මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව පෙත්සමේ සඳහන් වේ.
TISL ආයතනයේ ඉල්ලීම
මෙම සංශෝධනයන් මගින් ජනතා පරමාධිපත්‍යය, මූලික අයිතිවාසිකම්, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අධිකරණ බලය උල්ලංඝනය වන බව සඳහන් කරන TISL ආයතනය, අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 12, 13, 14(1)(a), 14A, 126, 140 සහ 156A(1)(c) යන වගන්තිවලට පටහැනි බවට තීන්දු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එබැවින් මෙම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු එකක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස TISL ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

