Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන හා රුසියානු ජනපතිවරුන් අතර විශේෂ හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදු ව තිබෙනවා. ඒ ඊයේ (31) කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවරදී. 2026 ශැංහයි සහයෝගිතා සංවිධාන නායක සමුළුවට සහභාගි වීම සඳහා මෙම නායකයින් කිර්ගිස්ථානයට පැමිණ සිටියි.

ඉකුත් මැයි මස රුසියානු ජනපතිවරයා‍ගේ සාර්ථක චීන රාජ්‍ය සංචාරය සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ එම සංචාරයේදී දෙරට නායකයින් එළඹි එකඟතාවන්ට අනුකූලව විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට සහයෝගිතා හා හුවමාරු යහපත් අන්දමින් වර්ධනය වෙමින් පවතින බවයි.

ඉදිරියේදී දෙපාර්ශ්වයේ පොදු උත්සාහ යටතේ චීන-රුසියානු සම්බන්ධතා වඩාත් ශක්තිමත් හා ස්ථාවර ලෙස ඉදිරියට වර්ධනය වනු ඇති බව හෙතෙම එහිදී සඳහන් කළා. වර්තමාන ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක් වෙමින් පවතින අතර ජාත්‍යන්තර තත්ත්වයන්ට අවිනිශ්චිත සාධක රැසක් බලපා තිබෙනවා. එහෙත් සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝකවාසීන්ගේ අභිලාෂය වෙනස් වී නැතැයි ෂී ජින්පිං මහතා ‍පෙන්වා දුන්නා.

සංකීර්ණ හා වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ රුසියාව හා චීනය දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් වී ඇතැයි ව්ලැදිමීර් පුටින් මහතා එහිදී සඳහන් කළා. වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන හා විද්‍යා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රයන්හි චීනය සමග සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව ඉදිරියට වර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කළා. එමෙන්ම කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ.

Exit mobile version