විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධිකරණයේ කාර්යභාරයට සහ යුක්තිය පසිදලීමේ පද්ධතියට ගරු කරන ලෙසත් කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් එය සාධාරණව සහ වගකීම් සහගතව කටයුතු කිරීමට රාජ්‍යයේ සියලු අංශ සහ අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවය.
තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිලදීම කෙරෙහි පවතින මහජන විශ්වාසය බිදවැටීමත් අධිකරණ ක්‍රියාවලියේ සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හා අඛණ්ඩතාවයට බලපෑම් එල්ලවීමට ඉඩ ඇති බවද නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
මහජන බලය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක් මෙන්ම අධිකරණයද නීත්‍යානුකූල විමර්ශනයකට සහ වගකීමකට යටත්ව පැවැතිය යුතු බවද නීතීඥ සංගමය තවදුරටත් පෙන්වා දෙයි.
නඩු තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාධාරණ කරුණු මත පදනම් වූ වගකීම් සහගත විවේචනයකට ලක් කළ හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.
ඒ අනුව අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණයේ ඕනෑම විනිසුරුවරයකු සම්බන්ධයෙන් විශවසනීය කරුණු හෝ චෝදනා මතුවන්නේ නම් ඒවා විශ්වසනීය, තහවුරු කරගත් දත්ත මත පදනම්ව සාධාරණව සහ නිසි ක්‍රියාපටිපාටියට ගරු කරමින් විමර්ශන කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
https://media.adaderanasinhala.lk/articles/250482/documents/_—-_—2026–27_20260827_105013_683.pdf

