ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීමේ නව වැඩපිළිවෙළක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇත.
2023 වසරේදී මෙම පද්ධතිය හඳුන්වාදීම සඳහා මූලික උත්සාහයක් ගෙන තිබුණද, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් සමඟ ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් හා එකඟතාවක් ඇති කර නොගැනීම හේතුවෙන් එම උත්සාහය ඉදිරියට ගෙන යාමට නොහැකි විය.
නව රජය පත්වීමෙන් අනතුරුව, සියලු පාර්ශ්ව එකම මේසයකට ගෙන එමින් මෙම කටයුතු නැවත ක්‍රමවත් ලෙස ආරම්භ කිරීමට හැකි වී තිබේ.
ඒ අනුව, ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ජාතික ශාක නිරෝධායන සේවය, ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඇතුළු අදාළ ආයතන හා පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් බහු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කර තිබේ.
මෙම කමිටුව මඟින් Air Cargo Community System එකක් හඳුන්වාදීමේ ශක්‍යතාව, තාක්ෂණික සමාලෝචනය සහ ව්‍යාපාර සමාලෝචනය යන කරුණු පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතී.
එහි ප්‍රගතිය පිළිබද විශේෂ සමාලෝචන සාකච්ඡාවක් 2026 අගෝස්තු 21 වැනිදා, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා සහ අදාළ සියලු පාර්ශ්ව නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් ඊට සහභාගි වූහ.
මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් ගුවන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් හා අනවශ්‍ය ලේඛන කටයුතු අවම කරමින්, ආයතන අතර තොරතුරු හුවමාරුව වේගවත් කිරීමටත්, ආනයනකරුවන් හා අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිධභාවයෙන් යුතු සේවාවක් නිර්මාණය කිරීමටත් හැකි වනු ඇත. එමඟින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, රටේ වෙළෙඳ හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලියේ පවතින ගැටලු හඳුනාගෙන, ඒවාට සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික ඩිජිටල් විසඳුමක් ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අදාළ සියලු පාර්ශ්ව සමඟ එක්ව ඉදිරි කටයුතු සිදුකරමින් සිටී.

