Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය පදනම් කරගනිමින් ශෂී වීරවංශ නැවත පෙර ඇප මත නිදහස්

ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහරී

ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහරී

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද දින (20) නියෝග කළේය.

අදාළ නඩුවේ තීන්දුව කියවාදීම සඳහා නඩුකරය අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම අවස්ථාවේදී ශෂී වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියාය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබූ බවයි.

එම දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව තම සේවාදායිකාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැඳවීමට නියම කර ඇති බැවින්, එතෙක් තම සේවාදායිකාව පෙර ඇප මත මුදාහරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හිමි අයිතිය අනුව ඇය එම අභියාචනය ඉදිරිපත් කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට යටත්ව ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ නඩුව යළි සැප්තැම්බර් 27 වැනිදා කැඳවීමටද අධිකරණය නියම කළේය.

Exit mobile version