Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් සිට රථවාහන දඩ ගෙවීම් සම්පූර්ණයෙන්ම ඔන්ලයින්: පළමු ඩිජිටල් හැඳුනුම්පත වසර අගදී ලබාදීමට සැලසුම්

සැප්තැම්බර් සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් online ක්‍රමයට; පළමු ඩිජිටල් හැඳුනුම්පත වසර අගදී

සැප්තැම්බර් සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් online ක්‍රමයට; පළමු ඩිජිටල් හැඳුනුම්පත වසර අගදී

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.

එමෙන්ම පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විමසා බැලීමක් සිදු කරයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්නේ.

ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද (19) පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක් වෙමිනි.

රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණි.

ඒ වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේයි.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය, දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTec ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය, කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලුණි.

ජනතාව රජය සමග සිදු කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදී ඇති govPay වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව සඳහන් කලේය.

රජය විසින් ජනතාවගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාතික ඩිජිටල් සුපර් ඇප් (National Super App) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතය අවම කර ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා හඳුන්වාදී ඇති “National QR Drive ව්‍යාපෘතිය, රජයේ ආයතන අතර ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සේවා සැපයුම් ක්‍රියාවලි විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරුව (National Data Exchange – NDX), රට තුළ දුරකථන අංක වෙනස් නොකර වෙනත් ජාලයකට මාරුවීමට ඉඩ සලසන Number Portability ව්‍යාපෘතිය, රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන සහ සේවා වේදිකාව ඇතුළු වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා විය.

එමෙන්ම රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම යටතේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට හඳුන්වා දී තිබෙන PIC-Net (Public Impact Champions Network) වැඩසටහනේ ප්‍රගතිය සහ Data Transmission Unit (DTU) හෙවත් දත්ත සම්ප්‍රේෂණ ඒකකය, AI දත්ත මධ්‍යස්ථානය, රජයේ සහ මහජන සේවා අංශය සඳහා ඩිජිටල් තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් GovTech Academy පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරුනි.

Govtec ආයතනය ආරම්භ කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සහ කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු විය.

Exit mobile version