පිලිපීනය සමඟ පවතින ද්වීපාර්ශ්වික සබඳතාවල වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉකුත් සෙනසුරාදා (25) ඩාවෝ නගරයේදී (Davao City) පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරුණි.
මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ සහ ඩාවෝ නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙය විවෘත කිරීම සුවිශේෂී වේ. මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම මඟින් දෙරට අතර පවතින චිරස්ථායී මිත්‍රත්වය සහ පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඇති අන්‍යෝන්‍ය කැපවීම පිළිබිඹු වේ.
මින්ඩනාඕ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ වර්ධනය වන අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඩාවෝ නගරය මේ සඳහා තෝරා ගන්නා ලදී. මෙතෙක් බොහෝ පිරිසකට සිය කොන්සියුලර් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා බොහෝ විට දේශීය ගුවන් ගමන් මගින් මැනිලා නුවර වෙත යාමට සිදු විය. මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මඟින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් අදාළ සේවාවන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් හිමිවේ.
කොන්සියුලර් කාර්යභාරයට අමතරව, ඩාවෝ යනු දකුණු පිලිපීනයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහාද විශාල අවස්ථාවන් ලබා දෙයි. මෙම කොන්සියුලර් කාර්යාලය මෙම වර්ධනය වන ආර්ථික හා ජනතා සම්බන්ධතා ශක්තිමත් කරන පාලමක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

